ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සලසන්න - ඉන්දියාවෙන් ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 8 සිකුරාදා - 13:28 GMT
Bank of Ceylon

ලංකා බැංකු කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ බුද්ධගයාව වන්දනා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට දිනකට කලින්

ඉන්දියාවේ මහා බෝධි විහාරය, ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලය ඇතුළු ශ්‍රී ලාංකික ආයතන මෙන්ම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද ආරක්ෂාව සපයන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලීමක් කරයි.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පිහිටි ලංකා බැංකු කාර්යාලයට පිරිසක් විසින් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සපයන මෙන් ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින මෙන් දිල්ලි අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ නිවේදනයක සඳහන් වේ.

සවස 1.30 ට පමණ බැංකුවට කඩා වැදුණු මුහුණු ආවරණ පැළදගෙන සිටි පිරිස, මුලින්ම මුර සේවයේ සිටි පොලිස් භටයන්ට පහර දී තිබේ.

ජනපති සංචාරය

පසුව ඉහල මාලයට ගිය ඔවුන් එහි තිබුණු ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩා බිඳ දමා බැංකුවේ නිලධාරීන් දෙදෙනකුට ද සුළු තුවාල සිදු කොට ඇති බව අමාත්‍යාංශය පවසයි.

ඔවුන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද එහි සඳහන්.

චෙන්නායි නුවර ලංකා බැංකු කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වූයේ බුද්ධගයාව සහ වෙන්කදේෂ්වර කෝවිල වන්දනා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට දිනකට කලින්.

එහිදී ජනාධිපතිවරයා විසින් මහා බෝධි සංගමයේ සංස්කෘතික මධ්‍යස්ථානයකට මුල් ගල් තබන අතර, විවිධ රටවල බෞද්ධ නාහිමියන් ද මුණ ගැසීමට නියමිත බවත් ජනාධිපතිවරයා ගේ නිළ වෙබ් අඩවියේ සඳහන්.

ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධි ඇතුළු දෙමළ දේශපාලන නායකයෝ දිල්ලි අගනුවර සහ තමිල්නාඩුවේ උද්ඝෝෂණවල යෙදී සිටියහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.