සංචාරයේ අරමුණ ගැන සැකයි - ආණ්ඩුව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 5 අඟහරුවාදා - 15:17 GMT
Lawyers protesting against impeachment

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින වාතාවරණය සහ දෝෂාභියෝග ක්‍රියාදාමය ද විමර්ෂණය කිරීම සිය සංචාරයේ අරමුණ බව ඉබාරි ආයතනය පවසයි

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ට ඉදිරිපත් කොට තිබූ ලිපි ලේඛණ සහ ඔවුන්ගේ වීසා ඉල්ලුම්පත්‍රවල සඳහන් කරුණු අතර පරස්පරතාවයන් තිබූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ පිළිබඳව සැකයක් මතුවීම නිසා ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් නොකළ බව පුවත්පත් වාර්තා මාර්ගයෙන් තමන්ට දැනගන්නට ලැබුණු බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

සිදුවීම පිළිබඳව තමන් වැඩි විස්තර නොදන්නා නමුත්, එකම සංචාරය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මතු වූ සැකය මත ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කෙරුණු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

දෝෂාභියෝගය

"ඒකයි සැකය. පිළිගත්ත නීතිඥ ආයතනයකින් එහෙම කෙරෙන්නේ නැති නිසා. අරමුණේ ප්‍රශ්නයක් ඇති වෙනවා එතකොට," යනුවෙන් ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් ඒ පිළිබඳව සංදේශයට කරුණු දැක්වූ දූත පිරිසේ සාමාජිකයෙකු වන ෂේන් කීනන්, ශ්‍රී ලංකාවේ නීතිඥ ක්ෂේත්‍රය සහ අධිකරණය වර්තමානයේ මුහුණ දෙමින් සිටින වාතාවරණය පිළිබඳව කරුණු සොයා බැලීම තම සංචාරයේ අරමුණ වූ බවත්, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය ද එම විමර්ෂණයේ එක අංගයක් බවත් පැවසීය.

එහෙත් එවැනි අරමුණක් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය දැනුවත් කොට නොමැති බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා අවධාරණය කරන්නේ.

මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් විය යුතු සැබෑ ප්‍රශ්නය වීසා ඉල්ලුම්පතට අදාළ තාක්ෂණික ගැටළු නොව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ ඉහල පෙලේ දූත පිරිසකට රටට ඇතුළු වීමට අවසර දීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම බව ද ෂේන් කීනන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට තමන් තවමත් බලාපොරොත්තු තබා තිබෙන බව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයට අනුබද්ධ මානව හිමිකම් ආයතනය (ඉබාරි) අවධාරණය කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.