ආණ්ඩුවේ ප්‍රකාශය වැරදියි - ජාත්‍යන්තර නීතිවේදීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 5 අඟහරුවාදා - 13:19 GMT
IBA

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ දක්වාම තමන්ට කිසිවක් දැනුම් දී නැති බවත් එම සංගමය පවසයි

තම දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා අයදුම් කළ අවස්ථාවේ වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය උල්ලංඝණය කළ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කරන චෝදනාව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි.

එමෙන්ම තම දූත පිරිසට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර දැඩිව හෙලා දකින බව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයට අනුබද්ධ මානව හිමිකම් ආයතනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ නීතිවේදීන් මුහුණ දෙන ගැටළු සහ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ එස් වර්මා ගේ නායකත්වයෙන් යුත් සිවු පුද්ගල දූත පිරිසක් පෙබරවාරි පළමු වැනි දින සිට දින දහයක් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.

විශේෂයෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය විමර්ශනයට ලක් කිරීම එම සංචාරයේ ප්‍රධානම අරමුණක් වූ බවයි, වාර්තාවල දැක්වෙන්නේ.

ෆීජි දේශයේ උදාහරණය

"නීතිඥ වෘත්තියට අදාළ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කෙරෙනු දැකීමට ශ්‍රී ලංකා බලධාරීන් බියක් දක්වන බවට මේ මගින් ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් සැපයෙනවා "

ආචාර්ය මාක් එලිස්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ

දූත පිරිසට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, තම සංචාරයේ සැබෑ අරමුණ පැහැදිලි කිරීමට දූත පිරිස අපොහොසත් වී ඇති බවට චෝදනා කළේය.

විශේෂයෙන්ම ලොව පුරාම නීතිවේදීන් නියෝජනය කරන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය වැනි සංවිධානයක් රටක නීතිය ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

එහෙත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

"නීතිඥ වෘත්තියට අදාළ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කෙරෙනු දැකීමට ශ්‍රී ලංකා බලධාරීන් බියක් දක්වන බවට මේ මගින් ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් සැපයෙන" බවයි ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය මාක් එලිස් පවසන්නේ.

එක් නියෝජිතයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් සහ අනෙක් තිදෙනා සඳහා වීසා ලබාදීම අත්හිටුවීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුර කටයුතු කරනු ඇතැයි තමන්ට දැනුම් දෙනු ලැබුවද මේ දක්වාම තමන්ට කිසිවක් දැනුම් දී නැති බවත් එම සංගමය පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ගේ එකමුතුව, එදා මෙදා තුර ජාත්‍යන්තර නීතිවේදීන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ එකම රට ෆීජි දේශය බවත්, ඉන් කාලෙකට පසුව ෆීජි රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටුවහල් කෙරුණු බවත් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම දෝෂාභියෝග ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවට සඟවන්නට කිසිවක් නැත්නම් දූත මණ්ඩලයේ සංචාරයට අවහිර කරන්නේ කුමන හේතුවක් නිසා දැයි නීතිවේදීන්ගේ එකමුතුව ප්‍රශ්න කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.