මොහාන් පීරිස්ගේ අපක්ෂපාතීත්වය ගැන එක්සත් ජාතීන්ගේ අවධානය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 18 සිකුරාදා - 17:14 GMT
Navi Pillai

නීතිවේදීන් සමහරෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳව ද මහ කොමසාස්රිස්වරිය අවධානය පළ කොට තිබේ

'දෝෂ සහගත' දෝෂාභියෝග ක්‍රියාදාමයක් මගින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කොට ඒ වෙනුවට පත් කරන ලද නව අගවිනිසුරු මොහාන් පීරිස් ගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය පිළිබඳව තම බරපතල අවධානය පළ වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

විශේෂයෙන්ම හිටපු නීතිපතිවරයා සහ කැබිනට් මණ්ඩල නීති උපදේශකවරයා ලෙසින් මොහාන් පීරිස් කිහිප වතාවක්ම ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පෙන්වා දෙන්නීය.

මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට චෝදනා එල්ල වන අවස්තාවක ඔහු ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරන්නීය.

දෝෂාභියෝගය 'දෝෂ සහගතයි'

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය මගින් එල්ටීටී ඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බව පැවසෙන යුධ අපරාධ වලට වැරදිකරුවන් සොයා දඬුවම් කිරීමේ ක්‍රියාදාමය මෙන්ම රටේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහය පසුබෑමකට ලක්වන බවද නවී පිල්ලේ ගේ ප්‍රකාශක රූපට් කොල්විල් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.

විධායකයේ බලය අනිසි ලෙසින් යොදා ගැනීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන බව පෙන්වා දෙන මහ කොමසාරිස්වරිය, විශේෂයෙන්ම සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබියදීත් ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම මගින් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට "විනාශකාරී" බලපෑමක් එල්ල කරන බවද පවසන්නීය.

ඒ අතරම දෝෂාභියෝගයේදී අගවිනිසුරු බණ්ඩාරනායකට සහාය දැක්වූ නීතිවේදීන්ට මරණ තර්ජන එල්ලවීම මෙන්ම ඔවුන්ගෙන් සමහරෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳවද තමන්ට වාර්තා ලැබී තිබෙන බව පවසන නවී පිල්ලේ, ලබන පෙබරාවාරි මාසයේ ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් නිකුත් කරන බව ද සඳහන් කරන්නීය.

රොමේෂ් ද සිල්වා, ජයම්පති වික්‍රමරත්න, ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට එල්ල වී තිබෙන මරණ තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්චා කරන මෙන් ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ නීතිවේදී මණ්ඩලය ද ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති බොබ් කාර් වෙත ලිපියක් යොමුකොට තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.