නීතියේ ආධිපත්‍යයට ගරු කරන්න - පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරු

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 14 සිකුරාදා - 12:21 GMT

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ විමර්ශනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති නොසලකා හැරීම පිළිබඳව සිය දැඩි අවධානය පලවී ඇති බවයි.

දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම පසුගිය දෙසැම්බර් 10 වැනි දින නිකුත් කළ නිවේදනය තමන්ද අනුමත කරන බව පවසන එම සංවිධාන, තත්ත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දැනුවත් කිරීමටද දැනටමත් කටයුතු කරන ලද බවද සඳහන් කරයි.

"තමන්ගේම අහඹු ක්‍රියාකලාපය" මගින් සහ විනිශ්චයකාරවරුන් පදවියෙන් ඉවත් කිරීම පිළිබඳ නිසි ව්‍යවස්ථානුකූල ක්‍රියා පටිපාටිය "පිළිපැදීමට අපොහොසත්වීම" මගින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරැකීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්තය පවා "බරපතල ලෙසින් යටපත් කොට තිබෙන" බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානයේ සභාපතිවරයා පවසන්නේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති අනුගමනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පක්ෂග්‍රාහී බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා පසුගියදා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කොට තිබුණි.

මේ අතර නිවේදනයක නිකුත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී අයි එස් එල්) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව තවත් ස්වාධීන කමිටුවකට යොමු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ලද ප්‍රකාශය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරයි.

ඒ සඳහා පක්ෂග්‍රාහී නොවන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පලුදු වී තිබෙන මහජන විශ්වාසය යලි ගොඩ නගා ගැනීමට හේතුවනු ඇතැයි ටී අයි එස් එල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ ගේ අත්සනින් නිකුත් කොට තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.