තේරීම් කාරක සභාවේ තීන්දුව 'පිළිගන්න එපා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 14 සිකුරාදා - 15:01 GMT
CJ Shirani Bandaranayake

පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පවසයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ප්‍රකාර ඉදිරි පියවර නොගන්නා මෙන් අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන් නියෝජනය කරන එකම සංවිධානය පවසන්නේ දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයකට මුහුණදීමට නොලැබීම පිළිබඳව සිය බරපතල අවධානය පලවී තිබෙන බවයි.

මේ තත්ත්වය යටතේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කරන මෙන් හෝ දෝෂාභියෝග ක්‍රියාදාමය විස්තර කෙරෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශාධනය කරන මෙන් අධිකරණ සේවා සංගමය පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලීමක් කරයි.

අගවිනිසුරුවරයෙකු පදවියෙන් ඉවත් කිරීමේ විනිශ්චය සභාවක් ලෙසින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බව පෙන්වා දෙන එම සංගමය, එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ස්වාධීන, අධිකරණ මණ්ඩලයක් මගින් බව අවධාරණය කරයි.

අගවිනිසුරුවරියට අපහාස කිරීම

විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට අපහාස වන ආකාරයෙන් හැසිරීම පිළිබඳව තම බරපතල අවධානය පල වී ඇති බවද අධිකරණ සේවා සංගමය පවසයි.

එමෙන්ම තේරීම් කාරක සභාවේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව තීන්දුවක් ලබාදෙන තුරු දෝෂාභියෝග විමර්ශනය පමා කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීමද නොතකා තේරීම් කාරක සභාව එහි කටයුතු පවත්වාගෙන යාමද සංගමයේ විවේචනයට ලක්වේ.

මේ අතර රටේ පිළිගත් නීතියක් නොවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විනිසුරුවරුන් කැඳවා විභාග පවත්වන්නේ නම් එමගින් සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවෙන් අධිකරණයට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ඒ බව පැවසුවේ දෝෂාභියෝග විමර්ශනයේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ.

බ්‍රහස්පතින්දා එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන්ගේ නීතිවේදීන් කියා සිටියේ, අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයට පමණක් බවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එම අධිකරණ බලය පැහැර ගෙන අගවිනිසුරු වරියට එරෙහි චෝදනා විභාග කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි, පෙත්සම්කරුවන්ගේ මතය වූයේ.

මේ අතර ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ තර්කය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් රටේ සාමාන්‍ය පුද්ගලයන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ කාර්යය පාර්ලිමේන්තුවට පවරා දී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ගාමිණී අමරතුංග විනිසුරුවරයා, රටේ සාමාන්‍ය නීතිය නොවන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් විනිසුරුවන්ට එරෙහි චෝදනා විභාග කරන්නේ කෙසේද යන්න නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පැවසීය.

පෙත්සම් විභාගය අවසාන කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබන සතියේ අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.