දෝෂාභියෝගය පිළිබඳව ඇමෙරිකාවේ දැඩි අවධානය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 7 සිකුරාදා - 11:52 GMT
US flag

දෝෂාභියෝගය රටේ නීතියට අනුකූලව, විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් පවත්වන මෙන් අමෙරිකාව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වෙන දෝෂාභියෝග පරීක්ෂණය රටේ නීතියට අනුකූලව, නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්, විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් පවත්වන මෙන් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දෝෂාභියෝග සහ ශ්‍රී ලංකාවේ අධිකරණය මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳව තම දැඩි අවධානය පළ වී තිබෙන බවයි, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක් නැති බව තේරීම් කාරක සභාවේ විරුද්ධ පක්ෂ නියෝජිතයෝ මේ අතර පවසති.

'කාරක සභාව විශ්වාස නෑ'

CJ Shirani Bandaranayake (file photo)

කාරක සභාවේ ඇතැම් සාමාජිකයන් ඒ වනවිටත් තීන්දුවකට එළැඹී සිටි බව ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති

මේ තත්ත්වය යටතේ තවදුරටත් එහි කටයුතුවලට සහභාගි නොවන බවයි, එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානය (දෙජාස) නියෝජනය කළ ආර් සම්බන්ධන්, සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ප්‍රජාස) නියෝජනය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්වී සිටි විජිත හේරත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

කාරක සභාවේ ක්‍රියාදාමය පිළිබඳව හෝ එයට අවශ්‍ය සාක්ෂි පිලිබඳව පැහැදිලි මිනුම් දණ්ඩක් නොමැති බවයි, ඔවුන් පවසන්නේ.

ආණ්ඩු පක්ෂයට කාරක සභාවේ පැහැදිලි බහුතරය තිබුනද විමර්ශන ක්‍රියාදාමය යම් තරමකට හෝ සාධාරණ මට්ටමින් පවත්වා ගැනීම තම උත්සාහය වූ බවයි, බීබීසී සංදේශය මතු කළ පැනයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ.

අදාළ චෝදනා පිළිබඳව නිදහසට කරුණු දැක්වීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට ප්‍රමාණවත් කාලයක් නොලැබුන බව ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

තේරීම් කාරක සභාවේ ඇතැම් සාමාජිකයන් ඒ වනවිටත් තීන්දුවකට එළැඹී සිටි බව ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වූ බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම චෝදනා සනාථ කිරීම සඳහා කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කොට නොතිබූ බව ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.