දුම්වැටි භාවිතයට එරෙහිව 'අසාමාන්‍ය සන්ධානයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 26 සඳුදා - 12:58 GMT
A cigarette

'මුඛ පිළිකාවලින් දිනකට මරණ දෙකක් වාර්තාවන බව තමයි තියෙන දත්ත. ගැබිණි කාන්තාවක් ළඟ තියාගෙන පුරුෂයා දුම් බොනවා නම් ගබ්සා ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා'

සම්ප්‍රදායයක් වශයෙන් එකිනෙකා සමඟ කළහ කරගන්නා දෙපාර්ශවයක් ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් අසාමාන්‍ය සන්ධානයකට එළැඹී සිටී.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිතියි, එම අසාමාන්‍ය සන්ධානයේ පාර්ශවකරුවන්.

සිගරැට් පැකට්ටුවල මුද්‍රිත රූපමය අවවාදයන් යොදා ගනිමින් දුම්බීමෙන් සිදුවන මරණීය තර්ජන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගෙන යන ක්‍රියාදාමයට එරෙහිව දුම්වැටි සමාගම් අධිකරණය ඉදිරියට ගොස් තිබේ.

මේ තත්ත්වය යටතේ අමාත්‍යවරයාගේ ක්‍රියාවට සහාය දීමට තමන් තීරණය කළ බවයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇමතූ එහි සභාපති සමන් රත්නප්‍රිය අමාත්‍යවරයාගේ ක්‍රියාදාමය පැසසුමට ලක් කරමින් කියා සිටියේ ලංකා දුම්කොළ සමාගමේ ක්‍රියාදාමයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට වෘත්තීය සමිතිය සූදානම් බවයි.

"සමාගමේ අරමුණ දුම් පානය වර්ධනය කරන එක. නඩුව දාන්නේ ඒකටනේ. තව සිගරට් බොන්න. තව පිළිකා හදාගන්න. ඒවා හදාගෙන මැරෙන්න," ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලංකා දුම්කොළ සමාගමේ ප්‍රකාශක දර්ශන අබේසිංහ බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දුට කියා සිටියේ අදාළ කාරණය මේ වනවිට අධිකරණය හමුවේ විභාග වන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

දුම්බීමෙන් සිදුවන සෞඛ්‍ය හානිය සහ විනාශයද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.

"මුඛ පිළිකාවලින් දිනකට මරණ දෙකක් වාර්තාවන බව තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන දත්ත. හෘදයාබාධ වගේ කාරණාවලින් දිනකට 150 ක් මියයනවා. ඒ වගේම ගැබිණි කාන්තාවක් ළඟ තියාගෙන පුරුෂයා දුම් බොනවා නම් ගබ්සා ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා," ඔහු පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.