ජනතා ප්‍රශ්න විසඳීමට රජය හා එක්වන්න - ජනපති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 8 බ්‍රහස්පතින්දා - 14:55 GMT

ජනතාව මුහුණ දෙන ‍ප්‍රශ්ණ තිරසාර ලෙස විසඳීම සඳහා රජය හා එක්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා , 2013 වසරේ අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂයෙන්, දෙමල ජාතික සන්ධානයෙන් සහ සෙසු විපක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දියුණුව කරා ගමන් කරන රටක් යැයි කියා සිටි ජනාධිපතිවරයා එහි නියම ප්‍රයෝජන ලබා ගැනීමට නම් සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ක්‍රියා කළ යුතුව ඇතැයි ප්‍රකාශ කළේය.

පළාත් සභාවල වෙනස් කම් ඇතිවන්නේ නම් එය ජනතාව බෙදා වෙන් කිරීමට හෝ ඔවුන් මත අනවශ්‍ය බරක් පැටවීම සදහා නොවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කෙබඳු දුෂ්කරතා ඉදිරියට ආවත් දිවිනැගුම වැඩ සටහන ඉදිරියට ගෙන යාමට රජය අදිටන් කරගෙන සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රට පුරා සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජන කොටක් ඉල්ලා සිටින්නේ සමාන ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු පහසුකම් මෙන්ම රැකියා අවස්ථා ලබා දෙන ලෙස යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

"විදේශ රටවල මැදිහත්වීම ඉල්ලා සිටීමට වඩා ආත්ම ගරුත්වය වැදගත් "

ජනාධිපති

ඒ සඳහා දායක වන ලෙස විරුද්ධ පක්ෂ නායකයාගෙන් ද දෙමල ජාතික සන්ධානයෙන්ද ජනතා විමුක්ති පෙරමුණෙන් ද ඉල්ලා සිටිමින්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට තම රජය බැදී සිටින බවයි.

විදේශ රටවල මැදිහත්වීම ඉල්ලා සිටීමට වඩා ආත්ම ගරුත්වය වැදගත් බව සදහන් කළ ජනාධිපතිවරයා, මේ පිළිබඳව තේරුම් ගැනීමට විරුද්ධ පක්ෂ නායකයාට ද දෙමල ජාතික සන්ධානයේ නායකයාට ද තමාට ද ප්‍රමාණවත් තරම් දේශපාලන අත් දැකීම් තිබෙන බව පැවසුවේය.

රාජ්‍ය සේවයේ ලක්ෂ දහ තුනක් පමණ සේවක සංඛ්‍යාවක් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට වැටුප් ගෙවනු ලබන්නේ බදු මුදල් වලින් යැයි පෙන්වා දුන්නේය. මේ නිසා වැටුප් වැඩි කිරීමක් සාධාරණීය කළ හැක්කේ ජනතාවට බදු බර දැරිය හැකි නම් පමණක් බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් සහ වෘතීය සමිති ඉකුත් කාලයේදී වගකීමෙන් යුතුව වැඩ කළ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේය.

ලබන වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප් අවම වශයෙන් රුපියල් 1500 න් වැඩිකිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් ‍ප්‍රකාශ කළේය.

විවිධ හේතුන් මත ජුලි වර්ජකයන් හට අසාධාරණයක් සිදුවී ඇතී බව කියා සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වයස අවුරුදු 65 ඉක්මවූ ස්ථිර ජීවනෝපාය මාර්ගයක් නොමැති අය සඳහා 2013 ජනවාරි 1 දා සිට මසකට රුපියල් 5000 ක ජීවනාධාරයක් ගෙවීමට රුපියල් බිලියන 300 ක් වෙන් කෙරෙන බව සඳහන් කළේය.

විරුද්ධ පක්ෂ ප්‍රතිචාර

දිළිඳුකම පිටුදැකීම පදනම් කරගත් මෙම අය-වැය යල් පැන ගිය චින්තනයක් පෙන්නුම් කරන්නක් යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේය.

දිළිඳුකම තුරන් කිරීමට වඩා ආර්ථික සංවර්ධනය වේගවත් කළහැකි අයවැයක අවශ්‍යතාවක් රටේ පවතින බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරමින් ගොවීන් දුෂ්කර තත්වයකට ඇද දමා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අසමානතාව තුරන් කිරීමට මෙම අය-වැයෙන් පිටුබලයක් ලැබෙන්නේ නැති බවයි ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය පවසන්නේ මෙම අය-වැය ඉලක්කම් විජ්ජාවක් පමණක් බවයි.

දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ ලබන මස මද වන විට ආණ්ඩුවට රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවන බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.