මාධ්‍යවේදීන්ට ණය ලබාදීම ඔවුන් 'හීලෑ කිරීමේ වෑයමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 5 සඳුදා - 14:20 GMT

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන්ට පොලී රහිත ණයක් සහ ලැප්ටොප් පරිගණක වැනි සහන ලබාදීම ඔවුන් තම මතයට නතු කර ගැනීම සඳහා කෙරෙන වරප්‍රසාද දීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට රුපියල් ලක්ෂ දොළහක පොලී රහිත ණයක් ලබාදෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය.

ඉන් අනතුරුව තෝරාගත් මාධ්‍යවේදීන් සහ කලාකරුවන් පිරිසකට ණය ලබාදීම සංකේතවත් කිරීම සඳහා පසුගිය සෙනසුරාදා අරලියහ මන්දිරයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කොට තම රජය ශ්‍රී ලංකාවේ වෙසෙන මාධ්‍යවේදීන්, කළාකරුවන්, ලේඛකයන් ඇතුළු සියලු දෙනා බේරා ගත් බවයි.

"රටට අද නිදහස ලබාදීල තියනවා. ඕනෑම තරාතිරමක ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න අහන්න, බය නැතුව ලියන්න, බය නැතුව නාට්‍යයක් හදන්න, චිත්‍රපටයක් හදන්න, මේ තියන සමාජ ප්‍රශ්න පිළිබඳව අද ඒ නිදහස ලබාදීල තියනවයි කියල කිවුවොත් ඒක නිවැරදියි කියලයි මම විශ්වාස කරන්නේ," ජනාධිපතිවරයා පැවසීය.

එහෙත් ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම, සිරස මාධ්‍ය ජාලයට එරෙහි ප්‍රහාරය, පෝද්දල ජයන්ත මාධ්‍යවේදියාට එල්ලවූ ප්‍රහාරය ඇතුළු කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර, එවන් වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවටම ලැබී තිබෙන්නේ කවර නිදහසක් දැයි ප්‍රශ්න කරයි.

මාධ්‍යවේදීන්ට පොලී රහිත ණය මුදල් ඇතුළු සහන ලබාදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල වූවක් බවයි, ජනාධිපතිවරයා මේ අතර පවසන්නේ.

"මහින්ද චින්තනයේ සඳහන් කරලා තියෙනවා ජනමාධ්‍ය නිදහස සැබෑ ලෙසම ඇතිකළ හැක්කේ ජනමාධ්‍යවේදියාගේ ජීවන තත්ත්වය උසස් කළ විටයි කියල. එසේ නොවුවහොත් නොවුවහොත් ජනමාධ්‍යවේදියා කවරෙකුගේ හෝ ගැත්තෙකු බවට පත්වෙනවා," ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

කෙසේ නමුත් එය තමන්ට අවනත නොවන මාධ්‍යවේදීන්ද හීලෑ කිරීමේ වෑයමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.

"තනිකර මේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තමන්ගේ ග්‍රහණයට අරගෙන, වෙන කිසිදු මතයක් පළ කරන්න ඉඩ නොතබා කරන මේ වගේ සුභ සාධන වැඩ අපි සලකන්නේ මාධ්‍යවේදීන්ට කරන අනුග්‍රහයක් හැටියට නෙවෙයි, තමන්ගේ මතය, තමන්ගේ බලය තහවුරු කරගන්න කරන තවත් උපක්‍රමයක් හැටියට," බවයි සුනිල් ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.