අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ප්‍රයත්නය ගැන ජගත් නීතිවේදීන්ගේ අවධානය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 30 අඟහරුවාදා - 12:25 GMT
Shirani Bandaranayake swearing in as CJ before President Mahinda Rajapaksa

'අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ'

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය බරපතල අවධානය පළ කරයි.

ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

"අපි දන්නා විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය.

"අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන හෙළනා කෙනඩි ආදිපාදවරිය සඳහන් කළාය.

දිවි නැගුම සම්බන්ධ විමර්ශනය

Helena Kennedy, QC

'මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්'

අගවිනිසුරුවරයා කිසියම් වරදක් කොට තිබෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම වරදක් නොවන බව පවසන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිවරිය, කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ එවැන්නක් සාධාරණීකරණය කළ නොහැකි බවද පවසන්නීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට පසුගියදා ගල්කිස්සේදී එල්ලවූ ප්‍රහාරය සහ දිවි නැගුම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විමර්ශනය අතර ප්‍රබල සම්බන්ධයක් ඇති හැඩක් පෙනීයන බවයි, ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසන්නේ.

"ප්‍රහාරය සිද්දවුන ඔක්තෝබර් 07 වෙනිදාට කලින් ඉඳලම මංජුල තිලකරත්නට තර්ජන එල්ලවෙමින් තිබුනේ. ඔහු තමන්ගේ ජීවිතය ගැන බියෙන් හිටියේ. ඒ වගේම ඊට පස්සේ අධිකරණයට විරුද්ධව විවිධ උද්ඝෝෂණ පැවැත්වුනා," බව පවසන හෙළනා කෙනඩි ආදිපාදවරිය, එහි අවසාන ප්‍රතිඵලය වූයේ තත්ත්වය විසඳීම සඳහා පියවර ගනු වෙනුවට එය තව තවත් උත්සන්න කිරීම සඳහා "ගින්නට පිදුරු දැමීමක්" බවද සංදේශයට කියා සිටියාය.

"ඒ නිසා මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා."

'ව්‍යවස්ථානුකූල පියවර ගන්නවා'

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා රටේ ව්‍යවස්ථාවට එරෙහිව පත් කොට තිබෙන බවට විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ රාජ නීතිඥවරිය කියාසිටියේ ඔහුගේ පත්වීම කවර ආකාරයෙන් සිදු වූවත් ඔහු දැනට එම පදවිය දරන බැවින් ඔහුට ආරක්ෂාව සැපයීම රටේ බලධාරීන්ගේ වගකීමක් බවයි.

මේ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ, කතානායකතුමාද පෙන්වා දුන් පරිදි ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෑතදී හටගත් විසංවාදය විසඳීම සඳහා ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ආණ්ඩුව පියවර ගන්නා බවයි.

දෝෂාභියෝගයද ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් එවැන්නක් ප්‍රකාශ නොකළ බවයි.

කෙසේ වුවත් ආණ්ඩුව අකමැති තීන්දු දෙන විට අධිකරණයට එරෙහිව පියවර ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.