සපුගස්කන්ද සදාකාලිකව වසා දැමීමේ සැලසුමක් - ඛනිජ තෙල් වෘත්තීය සමිතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 29 සඳුදා - 12:19 GMT
An oil refinery

ශ්‍රී ලංකාව පිලිබඳ ජාත්‍යන්තර බැංකුවල විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් සපුගස්කන්ද සදාකාලිකව වසා දැමීමේ සැලසුමක් ඇති බවයි, වෘත්තීය සමිති පවසන්නේ

ශ්‍රී ලංකා බලධාරීන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සදාකාලිකව වසා දැමීමට සැරසෙන බවට වෘත්තීය සමිතියක් අනතුරු අඟවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ඉරානයෙන් ඛනිජතෙල් ආනයනය කිරීමට බාධා පැමිණීමත් සමඟ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සතියේ නිවේදනය කළේය.

එය තාවකාලික පියවරක් පමණක් බව බීබීසී සංදේශයට කියා සිටි පෙට්‍රෝලියම් කටයුතු පිලිබඳ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පිරිපහදුව තවත් සති දෙකකින් පමණ පිරිපහදුවේ කටයුතු යලිත් ආරම්භ කරන බව ද සඳහන් කළේය.

පිරිපහදුව වසා දැමීම නිසා රටේ ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවීමේ තර්ජනයක් නොමැති බවද ඇමතිවරයා අවධාරණය කරයි.

කෙසේ නමුත් පිරිපහදුවක් වසා දැමීම යනු සරල පියවරක් නොවන බව පවසන ඛනිජ තෙල් සේවකයන්ගේ වෘත්තීය සමිතිය, එහි අඛණ්ඩත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් වැඩිදුරටත් පවසන්නේ පිරිපහදුව අක්‍රීය වීම දීර්ඝ කාලීන සැලසුමක ප්‍රතිඵලයක් බවයි.

බොර තෙල් එක ටැංකියක් ගෙන්වා ගැනීම සඳහා ටැංකි ගණනාවක් එකවර ඇනවුම් කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙන සමිතියේ සභාපති අසෝක රණවල, වර්තමානයේ ශ්‍රී ලංකාවට එවැනි මූල්‍ය ශක්තියක් නොමැති බව ද පවසයි.

"ඒ සඳහා විශාල විදේශ විනිමය වියදමක් දරන්න වෙනවා. ඒක ඛනිජ තෙල් සංස්ථාවට තනියෙන් දරන්න බෑ. මහා භාණ්ඩාගාරයේ දායකත්වයෙන්, ජාත්‍යන්තර බැංකුවල දායකත්වයෙන් අන්‍යෝන්‍ය එකඟතාවයෙන් තමයි මේක කරගන්න ඕන. අද වෙනකොට මේ හැකියාව, බැංකු පද්ධතියේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අපිට අයිරා දෙන්නේ නැති මට්ටමට අද වැටිලා තියෙන්නේ," බවයි, අසෝක රණවල බීබීසී සංදේශයට කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.