අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන්න - ජනාධිපති සහ එක්සත් ජාතීන්ට පෙත්සමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 22 සඳුදා - 11:49 GMT
Protest seeking Prageeth's whereabouts (file photo)

'කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා'

අසූව දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ අතුරුදහන් වී සිටින සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ දරුවන්ට ආධාර කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ඉල්ලා සිටිති.

මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් දින දහසක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් වෙත ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා සහ අතුරුදහන්වීම් පරීක්ෂා කිරීම සඳහා වූ කමිටුව (Committee to Investigate Disappearances) විසින් යොමුකරන ලද ඒකාබද්ධ සංදේශයකිනුයි, එම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ.

අතුරුදහන් වීමට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ද ක්‍රියාධරයෝ පිරිස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිති.

ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් වූ දහස් ගණනක් පිරිස සොයා ගැනීම සඳහා මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ ඉල්ලා සිටිමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස මානව හිමිකම් ක්‍රියාධරයෝ නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.

භීෂණ සමය

ලංකා ආණ්ඩුවේ වගකීම

"අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ"

Right to Life සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු

"කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා. ඒක ගැන කිසිම වගකීමක් දරන්න කෙනෙක් නැති," බවයි ඒ විරෝධතාවයේදී හමුවුණු සන්ධ්‍යා එක්නැලිගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ පැහැර ගැනීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳව සොයා බැලීම පිණිස එක්සත් ජාතීන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාවට එවීමේ අවශ්‍යතාවය ජීවිතයට අයිතියක් (Right to Life) සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු අවධාරණය කරයි.

"අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ," ඔහු පැවසීය.

මේ අතර අදහස් දැක් වූ ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් සපයා නැති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනාවක් එල්ල කළාය.

අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ එයට එරෙහිව දියත් වූ රාජ්‍ය මර්ධනය හමුවේ 40,000 කට ආසන්න සිංහල තරුණ පිරිසක් අතුරුදහන්ව සිටින බව ඇස්තමේන්තු කෙරේ.

ඉන් අනතුරුව, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී අඩුම තරමින් 146,000 ක පිරිසක් අතුරුදහන් වී ඇතැයි මන්නාරම රදගුරු රායප්පු ජෝසප් එල්එල්ආර්සී උගත් පාඩම් කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිය උපුටා දක්වන ඒකාබද්ධ සංදේශය සඳහන් කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.