දහතුන් වැනි සංශෝධනය අවලංගු කළ යුතු නෑ - සරත් ෆොන්සේකා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 22 සඳුදා - 15:19 GMT
Sarath Fonseka (file photo)

'13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ල තියෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට අදාලවයි. ඒවා එකපාරටම අහෝසි කරන්න බෑ'

ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් යෝජනා කරන අන්දමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු නොකළ යුතු බව හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

හිටපු හමුදාපතිවරයා එම අදහස් පළ කළේ, 1987 දී ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව පළාත් සභාවලට බලය බෙදමින් ක්‍රියාත්මක කරන ලද 13 වැනි සංශෝධනය අවලංගු කළ යුතු බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කොට තිබූ ප්‍රකාශය පිළිබඳව ත්‍රිකුණාමලයේදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

"13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ල තියෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ දිගින් දිගටම ශබ්ද නගපු, කෑගහපු ප්‍රශ්නවලට අදාලවයි. ඒවා එකපාරටම අහෝසි කරන්න බෑ එහෙම," පදවි ශ්‍රී පුර ජයන්තිපුරදී ජන හමුවක් ඇමතීමෙන් අනතුරුව හිටපු හමුදාපතිවරයා සංදේශයට කියා සිටියේය.

එම සංශෝධනය අහෝසි කොට, පළාත් සභා සියල්ල අහෝසි කිරීමේ යෝජනාවට ජාතික හෙළ උරුමයේ මෙන්ම අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ද සහයෝගය පළ වී තිබේ.

කෙසේ නමුත් තමාගේ නායකත්වයෙන් ඉදිරියේදී බිහි කරන රජයක් යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, ජනවරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ද සරත් ෆොන්සේකා සංදේශයට පැවසීය.

"කිසිම දර්ශනයක් නැතුව කෑගහල වැඩක් නෑ මේවා අහෝසි කරන්න ඕන කියල. අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් එන්න ඕන එතෙන්දි රටේ හැම දෙනාටම එකමුතුව, එකට සහෝදර බැම්මෙන් විශ්වාසය ඇතුව, සැකයක් නැතුව, එක පුරවැසියන් විදියට, ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත්වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපි ගේනවා," ඔහු පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.