කේපී ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් - කැබිනට් ප්‍රකාශක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 19 සිකුරාදා - 14:03 GMT
Interpol warrant on KP

එල්ටීටීයේ ක්‍රියාකාරකම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණවලට කේපී ලබාදුන් තොරතුරු උපකාරී වූ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි

කේපී හෙවත් කුමරන් පද්මනාදන්ට එරෙහි චෝදනා වලින් ඔහු නිදහස් කොට නැතත්, එල්ටීටීයේ ක්‍රියාකාරකම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණවලට ඔහු ලබාදුන් තොරතුරු උපකාරී වූ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව පැවසුවේ ආණ්ඩුවේ අත් අඩංගුවේ පසුවන එල්ටීටීයේ හිටපු නායකයාට නඩු පැවරීමේ සූදානමක් නැති බවට බලධාරීන් පසුගිය බදාදා කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්තාවේදී.

එසේ නම් ඉන්ටර්පෝල් සංවිධානයේ වරෙන්තුවක් පවා තිබෙන කුමරන් පද්මනාදන්ට ශ්‍රී ලංකාව සමාව දී තිබෙන්නේද යන්න බීබීසී සංදේශයේ කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයක්.

"සමාව දෙනවද ඒ සියල්ල අමතක කරනවද කියන එක නෙමෙයි. අපිට යම්කිසි නීතියේ ඉඩක් තියෙනව නම්, ඊට වඩා පුළුල් වූ චිත්‍රයක් තුල, ඊට වඩා සමාජ සාධාරණයක් උඩ කටයුතු කරන්නට ඒ වෙනුවෙන් සලකා බැලීමට රජය ඒ ස්ථාවරයේ ඉන්නවා," යන්නයි, ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ ප්‍රතිචාරය වූයේ.

එසේනම් ඔහු මේ වනවිට රජයේ සාක්ෂිකරුවෙක්ද යන්න මාධ්‍ය හමුවේදී නැගුනු තවත් ප්‍රශ්නයක්.

"මේ වෙනකොට ඒකයි තියෙන්නේ. මේ වෙනකොට ඒ ආකාරයෙන්. ඔහු විසින් ඉදිරිපත් කරන ලද යම් යම් වාර්තාවන් අනුව තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙච්ච ඒවා මෙතෙක් දුරට සාධාරණ සාර්ථකත්වයක් අපට ලබල දීල තියෙනව," එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඇමතිවරයා පැවසීය.

යුද්ධයෙන් අනතුරුව රටේ සාමය තහවුරු කර ගැනීම සඳහා ආණ්ඩුවට විවිධ පියවර ගැනීමට සිදු වූ බව පවසන අමාත්‍යවරයා, විශේෂයෙන්ම විදේශගත දෙමළ ප්‍රජාවේ නියෝජිතයන් සමඟ කොළඹදී සෘජු සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා සූදානමෙන් සිටි බවද ප්‍රකාශ කරයි.

චෝදනා වලට ලක්වී සිටින්නෙකුට හෝ වැරදිකරුවෙකුට පවා රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගැනීමේ අයිතියක් තිබෙන බවද ඇමතිවරයා අවධාරණය කළේය.

"අයි බැරි? නෑ එන්ජීඕ එකට අපිනේ පර්මිෂන් දෙන්නේ."

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.