පොලිසියට එරෙහි වධහිංසා නඩුවක් යළිත් විභාගයට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 18 බ්‍රහස්පතින්දා - 13:03 GMT

ජෙරල්ඩ් පෙරේරා සමරු පෙළපාලියක්

මානව හිමිකම් ක්‍රියාධරයකුට වද හිංසා කළ බවට චෝදනා ලබන පොලිස් නිලධාරීන් පිරිසක් නිදහස් කර යැවූ මහාධිකරණ තීන්දුවක් අභියාචනාධිකරණය විසින් අවලංගු කරන ලදී.

2002 ජූනි මාසයේදී පොලිසිය තමා අත් අඩංගුවට ගෙන බරපතළ ලෙස වධ හිංසා සිදුකළ බවට බවට ජෙරල්ඩ් පෙරේරා විසින් අධිකරණයට පැමිණිලි කොට තිබුණි.

ඔහු විසින් චුදිතයන් ලෙස නම් කොට සිටි වත්තල පොලිසියේ එම් සුරේෂ් ගුණසේන, නලින් චන්දිමාල් ජයසිංහ, එච් ඒ පී ඩී පෙරේරා, එච් එම් ඒ කේ හේරත්, ඊ ඒ ඒ තුශාන්ත හා ඒ එම් වී බණ්ඩාර යන නිලධාරීන් 2008 අප්‍රේල් මාසයේදී නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මීගමුව මහාධිකරණය විසින්.

ජෙරල්ඩ් පෙරේරා අත් අඩංගුවේ දී තුවාල ලද බව ඔප්පු වුවත්, චුදිත නිලධාරීන් පොලිස් ස්ථානය තුළදී පහර දුන් බව ඔප්පු කිරීමට පැහැදිළි සාක්ෂි නොමැති බවයි මහාධිකරණයේ නිගමනය වූයේ.

මහමග ඝාතනය

කෙසේවෙතත්, ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරන්නේ ජෙරල්ඩ් පෙරේරාට සිදුවූ තුවාල පිළිබඳව නඩු විභාගයේදී සවිස්තර වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කැරුණු බවයි.

තුශාන්ත හා බණ්ඩාර යන පොලිස් නිලධාරීන් හැර අනික් සිව් දෙනා නිදහස් කරමින් දෙනු ලැබූ තීන්දුව 18 වැනි බ්‍රහස්පතින්දා නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය විසින් නඩු විභාගය නැවත පවත්වන ලෙස නියෝග කර ඇත.

වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පවරා තිබූ අපරාධ නඩුවක සාක්ෂි දීමට නියමිතව සිටියදී ජෙරල්ඩ් පෙරේරා නඩු විභාගයට සතියකට පෙර 2004 නොවැම්බරයේ මහමගදී වෙඩි තබා ඝාතනය කැරුණි.

පොලිසියේදී ඔහුට වධහිංසා කළ බවට චෝදනා ලබන එක් නිලධාරියකු ඇතුළු දෙදෙනකුට එරෙහිව ඝාතනය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් තවමත් විභාග වෙමින් පවතී.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.