විදේශගත දමිළ සංවිධානයක් සොල්හයිම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 9 අඟහරුවාදා - 17:40 GMT

ශ්‍රී ලංකා රජය එල් ටී ටී යට එරෙහිව ගෙනගිය යුද්ධයේ අවසාන භාගයේදී කොටි සංවිධානයට යටත් වීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකසා තිබු බවට ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ ප්‍රධාන මැදිහත්කරු එරික් සොල්හයිම් විසින් කරන ලද ප්‍රකාශය විදේශගත ඊලාම්වාදී සංවිධානයක් වන පාර ජාතික දමිළ ඊලාම් රජය ප්‍රතික්ෂේප කරනු ලබන බව එහි ප්‍රකාශකයෙක් බී බී සී දමිළ සේවය සමඟ පැවැත්වූ සාකඡාවකදී අවධාරණය කළේය.

යුද්ධය අවසානයේ සිදුවූ දහස් ගණනක් ජීවිත විනාශයට එම සැලසුම පිළි නොගත් එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ද වග කිවයුතු බවයි පසුගිය සඳුදා සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ නෝර්වීජියානු රජයේ හිටපු ඇමති එරික් සොල්හයිම් කියා සිටියේ.

එරික් සොල්හයිම් විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වන පාර ජාතික දමිළ ඊලාම් රජයේ අගමැති විශ්වනාදන් රුද්‍රකුමාර්, බී. බී. සී . දමිළ සේවයේ තිරුමලෙයි මනිවන්නන් සමග සාකච්ඡාවකට එක්වෙමින්, සිදුවූ ජන ඝාතනයට වග කිව යුතු වන්නේ ශ්‍රී ලංකාවේ රජය සහ ජාත්‍යන්තර බලවතුන් බව ප්‍රකාශ කරයි.

" මා දන්නා පමණින් යටත් වීම සඳහා කිසිම ලිඛිත යෝජනාවක් කොටි සංවිධානයට ඉදිරිපත් වුනේ නැහැ"

"ශ්‍රී ලංකා රජයේ හමුදා ප්‍රහාර ඉලක්ක කොට ගත්තේ විමුක්ති කොටි සංවිධානය පමණක් නොවෙයි. එය වන්නියේ දෙමළ ජනතාවම ඉලක්ක කොට ගත්තක්. ඒ බව හොඳටම අපි කවුරුත් දැන හිටියත් ඒක වළක්වන්නට ජාත්‍යන්තර ප්‍රජාව කිසිම දෙයක් කළේ නැහැ. යටත් වීමක් සිදු වුනත් එයින් සිංහල ආණ්ඩුවේ ලේ පිපාසය සංසිඳෙන්නේ නැහැ", යි විශ්වනාදන් රුද්‍රකුමාර් කියාසිටී.

එල් ටී ටී ඊ සංවිධානයේ ආරාධනයෙන් 2009 පෙබරවාරියේදී මැලේසියාවේ පැවැති සාකච්ඡාවක් සඳහා තමන්ද සහභාගී වූ බව විශ්වනාදන් රුද්‍රකුමාර් පවසයි.

විශ්වනාදන් රුද්‍රකුමාර්, 2002 සිට 2006 දක්වා ශ්‍රී ලංකා රජය සමග සාම සාකච්ඡා සඳහා විමුක්ති කොටි සංවිධානය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට සහභාගී වූවෙක්.

මැලේසියා සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපද සහ නෝර්වේ රජයේ නියෝජිතයන්ද සහභාගී වූ බව ඔහු ප්‍රකාශ කරයි.

"ඒ සාකච්ඡාවේදී කිසිම ලිඛිත සැලසුමක් අපට දුන්නේ නැහැ. මැලේසියාවේ තිබුණු සාකච්ඡාවේදී ඒ ගොල්ලෝ කතා කළ දේවල් ගැන අපේ කිසිම එකඟතාවක් තිබුනේ නැහැ. මා දන්නා පමණින් යටත් වීම සඳහා කිසිම ලිඛිත යෝජනාවක් කොටි සංවිධානයට ඉදිරිපත් වුනේ නැහැ." යනුවෙන්ද විශ්වනාදන් රුද්‍රකුමාර් වැඩි දුරටත් සඳහන් කළේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.