දහස් ගණනක් ජීවිත විනාශයට එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් වගකිව යුතුයි - සොල්හයිම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 8 සඳුදා - 17:25 GMT

ඒ දිනවල අපි එල්. ටී. ටී. ඊ. නායකත්වය සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගනිමින් එකී යෝජනා ඔවුන් වෙත ඉදිරිපත් කළා

සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ නෝර්වීජියානු රජයේ හිටපු ඇමති, ශ්‍රී ලංකා සාම ප්‍රයත්නයේ ප්‍රධාන මැදිහත්කරු එරික් සොල්හයිම් ප්‍රකාශ කරන්නේ, යුද්ධය අවසානයේ සිදුවූ දහස් ගණනක් ජීවිත විනාශයට එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ද වගකිවයුතු බවයි. 2009 වසරේ යුද්ධයේ අවසාන අදියරේදී පොදු සමාවක් සඳහා ඉදිරිපත්වූ යෝජනාවක් කැරලි නායකත්වය විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි එරික් සොල්හයිම් ප්‍රකාශ කරයි.

"එම අවස්ථාව වෙන කොට යුද්ධයෙන් ආණ්ඩුවේ හමුදා ජයගන්නා බව ඉතා හොඳින් පැහැදිළි වී තිබුනා. යුද්ධයේ අවසානය සංවිධිත ආකාරයකින් සිදුවීම කාගේත් යහපතට හේතු වන බවයි අපි යෝජනා කළේ . එම වැඩ පිළිවෙල යටතේ ප්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන් හැර එල්. ටී. ටී. ඊ. නායකයන් සියලු දෙනාටත්, කොටි සාමාජිකයන් හැමටත් පොදු සමාවක් ලබා දීමට කටයුතු සකස් කරන බවට කරුණු අප ඉදිරිපත් කළා. එම යෝජනාවට එකඟතාවය ලැබුනා නම්, යුද පෙරමුණේ කුඩා බිම් ප්‍රමාණයක සිර වී සිටි දහස් ගණනක් ජනතාව අදත් ජීවතුන් අතර. අහිංසක ජීවිත දහස් ගණනක් බේරා ගැනීම සඳහා කළ එම යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජපානය, ඉන්දියාව ඇතුළු සාම ප්‍රයත්නයේ සම සභාපති වරුන් ඇතුළත් සියලු පාර්ශ්ව එකඟව සිටියා . ඒ දිනවල අපි එල්. ටී. ටී. ඊ. නායකත්වය සමග නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගනිමින් එකී යෝජනා ඔවුන් වෙත ඉදිරිපත් කළා. නමුත් ප්‍රභාකරන් අපගේ යෝජනා ප්‍රතික්ෂේප කළා." යයි තම යෝජනාව පැහැදීළි කරමින් හිටපු ඇමති එරික් සොල්හයිම් සංදේශයට ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයම වග කිව යුතුයි

මහා ලේකම් බැන් කී මූන් වන්නියට යාමට එකඟ වී සිටියා. අපට ලැබුණු පිළිතුර වුනේ ප්‍රභාකරන් කිසිවෙකු හමුවීමට සුදානම් නැති බවටයි

යටත් වීමේ යෝජනා තවදුරටත් පැහැදිළි කරමින් කතා කළ එරික් සොලහයිම්, "අපි යෝජනා කළේ ජාත්‍යන්තර නියෝජිතයන් යවා හිරවී සිටි දහස් ගණන් පිරිස අතරින් සියලු දෙනා තනි තනිව ලේඛන ගත කර නිදහස් කර ගැනීමයි. මෙලෙස ලියාපදිංචි කරන පුද්ගලයන් මරා දැමීම ඉතා අපහසුයි. ජීවිත බේරා ගැනීමට තිබුන එම අවස්ථාව පැහැර හැරීම මහා ඓතිහාසික වරදක්. යුද්ධයෙන් ජයක් නොලැබෙන බව හොඳින් පැහැදිළිව තිබියදී, විය හැකි ජීවිත විනාශය පෙනී පෙනී අප ගත් තීරණය මගින් දහස් ගණන් ජීවිත විනාශයට පත් වීම වළක්වා ගැනීමට තිබුන අවස්ථාව පැහැර හැරීමේ වගකීම එල්. ටී. ටී. ඊ. නායකත්වය මත පැවරෙනවා. ඒත් දහස් ගණන් අහිංසක වැසියන්ට රජයේ හමුදා එල්ල කළ ප්‍රහාර යුක්ති සහගත කර ගැනීමට එකී එල්.ටී.ටී .ඊ ක්‍රියා කලාපය ආණ්ඩුවට කිසි සේත් නිදහසට කරුණක් වන්නේ නැහැ. මේ ජීවිත විනාශයට ශ්‍රී ලංකා රජයේ හමුදා මෙන්ම එල්. ටී. ටී. ඊ. නායකත්වය යන දෙපාර්ශවයම වග කිව යුතුයි." යනුවෙන් නොර්වේ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

"දහස් ගණන් ජීවිත විනාශයට පත් වීම වළක්වා ගැනීමට තිබුන අවස්ථාව පැහැර හැරීමේ වගකීම එල්. ටී. ටී. ඊ. නායකත්වය මත පැවරෙනවා"

අහිංසක ජනතාව බලහත්කාරයෙන් රඳවා ගනිමින්

සාම යෝජනාවලට එකඟ නොවීමට අමතරව අහිංසක ජනතාව බලහත්කාරයෙන් රඳවා ගනිමින් ඔවුන් අනතුරට පත් කිරීමට කැරලි නායකත්වය ක්‍රියා කළ බවට ඇති චෝදනා පිළිබඳව සාක්ෂි තිබේද යන ප්‍රශ්නයට පිළිතුරුදුන් හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් ප්‍රකාශ කළේ , ඒ පිලිබඳව පිළිගත හැකි සාක්ෂි ලැබී ඇති බවයි. "දහස් ගණන් ජනතාව එල්. ටී. ටී. ඊ. නායකත්වය විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට පිළිගත හැකි සාක්ෂි තිබෙනවා. ඒත් බලයෙන් රඳවා හුන් දහස් ගණනක් සාමාන්‍ය ජනතාවට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම ඒ මගින් යුක්ති සහගත වන්නේ නැහැ. ජනතාව රැකවරණ ලැබ සිටි ස්ථාන මෙන්ම රෝහල් වලටත් රජයේ හමුදා වුවමනාවෙන් ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි තිබෙනවා." එරික් සොලහයිම් පවසයි.

බැන් කී මූන් වන්නියට යාමට එකඟ වී සිටියා

දහස් ගණන් ජනතාව එල්. ටී. ටී. ඊ. නායකත්වය විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට පිළිගත හැකි සාක්ෂි තිබෙනවා

තමන් ගෙන ආ යෝජනා වලට ශ්‍රී ලංකා රජයේ සහාය ලැබී තිබු බවද ඔහු ප්‍රකාශ කරයි . "ශ්‍රී ලංකා රජය ස්වකැමැත්තෙන් හෝ ජාත්‍යන්තර ප්‍රජාවගේ බලකිරීම හේතුවෙන් යුද්ධයේ අවසානය පිළිබඳව අප ගෙන ආ යෝජනාවට එකඟ වුනු බව පැහැදිළිව පෙනී ගිය කරුණක්. මෙහිදී තීරණාත්මක වුනේ එල්. ටී. ටී. ඊ. නායකත්වයේ එකඟතාවයයි. අපි චන්ද්‍රිකා දුරකථන ඔස්සේ එල්. ටී. ටී. ඊ. නායකත්වය සමග ඍජුවත්, ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රකාශක කුමාරන් පත්මනාතන් හරහාත් සාකච්ඡා කරමින් ඔවුන් යෝජනාවට එකඟ කර ගැනීමට උත්සාහ කළා. එය පහර හරිමින් , යුද්ධයට සාමකාමී නිමාවක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරීමේ වගකීම මුළුමනින් පැවරෙන්නේ එල්. ටී. ටී. ඊ. නායකත්වය වෙත. වන්නියට ගොස් නායකත්වය හමුවී සාකච්ඡාකර ජීවිත බේරා ගැනීමට ඉඩ සලසා ගැනීමට මම ඉදිරිපත් වුනා. මහා ලේකම් බැන් කී මූන් වන්නියට යාමට එකඟ වී සිටියා. අපට ලැබුණු පිළිතුර වුනේ ප්‍රභාකරන් කිසිවෙකු හමුවීමට සුදානම් නැති බවටයි. අපට අවශ්‍ය නම් නඩේසන් හමුවිය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.එහෙත් එවැනි තීරණාත්මක අවස්ථාවක නායකත්වය හමු නොවී ගන්නා තීරණ පලදායී වන්නේ නැහැ". යයිද එරික් සොලහයිම් කියා සිටියේය.

ඝාතන පිලිබඳ සම්පුර්ණ සත්‍යය

යුද්ධයට සාමකාමී නිමාවක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරීමේ වගකීම මුළුමනින් පැවරෙන්නේ එල්. ටී. ටී. ඊ. නායකත්වය වෙත

යුද්ධය නිම වී වසර තුනකට වැඩි කාලයක් ගතව සිදු කරන මෙම ප්‍රකාශයන්හි සත්‍යය අසත්‍යභාවය තහවුරු කර ගත හැකි වන්නේ කෙසේද යන ප්‍රශ්නය හිටපු නොර්විජීයානු ඇමති වරයා වෙත සංදේශය යොමු කළ අවස්ථාවේදී , ඒ පිළිබඳව තොරතුරු මීට පෙරත් ප්‍රසිද්ධියට පත් ව තිබූ බවයි එරික් සොල්හයිම් සඳහන් කළේ. " සිදු වූ සාකච්ඡාවල තොරතුරු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කේබල් පණිවුඩ ඇතුළත් විකීලීක්ස් හෙළිදරව් වල දක්නට තිබෙනවා. යුද්ධය අවසානයේ සිදුවූ මහා මිනිස් ඝාතනය සම්බන්ධයෙන් දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතරින් විරෝධයක් පැන නොනැඟුනේ එල්. ටී. ටී. ඊ සංවිධානය වසර තිහක් තිස්සේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාර වලින් ජනතාව තුළ ඔවුන් කෙරෙහි ඇති අනුකම්පාව හීනවී තිබීම නිසා මෙන්ම, යුද්ධයේ අවසාන දින කීපය තුළ සිදුවූ ඝාතන පිලිබඳ සම්පුර්ණ සත්‍යය දකුණේ ජනතාව තවමත් නොදැන සිටීම නිසා බව මගේ අදහසයි " යන්නයි එරික් සොලහයිම්ගේ පිළිතුර වුනේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.