විනිසුරුවරුගෙන් උසාවි වර්ජන තර්ජනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 7 ඉරිදා - 17:51 GMT

අධිකරණ සේවා කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුට පහර දීම හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ විනිශ්චයකාර වරු අට වැනි සඳුදා අධිකරණ රාජකාරි වලින් ඉවත් වී සිටීමට තීරණය කරති.

කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න රෝහල් ගත කරන තරමට පහර දීම හමුවේ ඉරිදා රැස්වූ අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභාවයි මෙම තීන්දුව ගෙන ඇත්තේ.

සභාපති ඒ කේ එම් පටබැඳිගේ බී බී සී සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් වරයා ලෙස පත් කරනු ලැබූ විනිශ්චයකාරවරයකුට පහර දීමත් සමග තමනට නිදහසේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව ගැටළු කාරී තත්වයක් මතුවී තිබීම විනිසුරු සංගමයේ තීන්දුවට හේතු වූ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය කොළඹදී විරෝධතාවක්

කොමිසන් සභාවේ ලේකම් වරයාට පහර දීම පටබැඳිගේ විනිසුරුවරයා විසින් හඳුන්වා දෙනු ලැබුවේ 'දිගින් දිගටම මෑත කාලයේ සිදුවූ සිදුවීම් වල අලුත්ම ප්‍රතිඵලය,' ලෙසින්.

'රජයේ ඒජන්තයන්'

විනිසුරු වරුන් උසාවි වර්ජනයේ යෙදෙන සඳුදාම කොළඹට විරෝධතාවක් කැඳවීමට තීරණය කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ වරුන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබුනේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පසු බැස්වීමේ උවමනාවෙන් පෙලෙන විධායකයේ ඉහළම තැන්වලින් ආශිර්වාදය ලබන 'රජයේ ඒජන්තයන්' විසින් මෙම ප්‍රහාරය සිදු කැරුනු බවයි.

විපක්ෂයත් නීතිඥ සංවිධානත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන අධිකරණ කටයුතු භාර අමාත්‍යවරයා කොමිසන් සභාවේ ලේකම් වරයා බැලීමට රෝහලට ගොස් පැමිණ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා 'පුළුල් පරීක්ෂණයක්' පැවැත්වීමට නියෝග කළ බවයි.

අධිකරණ සේවා කොමිසන් සභාවට රජයෙන් බලපෑමක් ඇති බවට විවේචන එල්ල වෙමින් පවත්නා අවස්ථාවක රජය මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ වෙතැයි තමන් විශ්වාස නොකරන බවත් රවුෆ් හකීම් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

'ජීවිත තර්ජන'

නිල බලයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති වන අගවිනිසුරු පත් කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි.

අඟහරුවාදා කොළඹට රැස්වන රටේ සියලුම විනිසුරන් ගේ විශේෂ මහා සභා රැස්වීමක දී ඉදිරි පියවර තීන්දු කිරීමට නියමිත බවත් අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ඒ කේ එම් පටබැඳිගේ වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර අධිකරණ සේවා කොමිසන් සභාවේ සභාපති වන්නේ අගවිනිසුරුයි. අනික් සාමාජික ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු වරුන් දෙදෙනා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ පාර්ලිමේන්තු කොමිසමේ අනුමැතියෙන් පත් කරනු ලැබේ.

'ආණ්ඩුවේ ඉහළම දේශපාලන බලාධිකාරයකින් ඔවුන්ගේ රාජකාරියට බාධා කෙරෙන,' බව ඉකුත් සැප්තැම්බර් මැදදී මාධ්‍ය වෙත කියා සිටි මංජුල තිලකරත්න මස අගදී අනතුරු අඟවා සිටියේ උසස්ම විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.