සරසවි ඇදුරු අරගලයට දැවැන්ත ජන සහයෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 28 සිකුරාදා - 15:47 GMT

ජාතික අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කරන ලෙස රජයට බල කරමින් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු සංවිධාන පැවැත් වූ පාගමන අද කොළඹ හයිඩ් පිටියේ පැවති විරෝධතා රැළියකින් සමාප්ත විය.

දින පහක් පුරා පැවති මේ පා ගමනට, වෘත්තීය සමිති, දේශපලන පක්ෂ, බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනයක් කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගී විය.

මීට දින පහකට පෙර ගාල්ලෙන් ගමන් ආරම්භ කොට, අද මොරටුවෙන් පිටත්ව කොළඹ හයිඩ් පිටිය කරා පැමිණි පාගමනට සිය ගණනින් විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති සහ දේශපාලන නායකයන් එක් වූ බවයි, බි බි සී සංදේශයේ කේ එස් උදයකුමාර් වාර්තා කළේ.

සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහේන් මෙන්ඩිස්

"දේශ ප්‍රේමින් යයි කියා ගන්නා කොටස්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපනයට වියදම් කරනවාට විරුද්ධ වන්නේනම්, ඔවුන් මොට්ටපාලලා පිරිසක් මිස දේශප්‍රේමින් නොවේ"

"දේශ ප්‍රේමින් යයි කියා ගන්නා කොටස්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපනයට වියදම් කරනවාට විරුද්ධ වන්නේනම්, ඔවුන් මොට්ටපාලලා පිරිසක් මිස දේශප්‍රේමින් නොවේ" යැයි සරසවි ආචාර්ය වරුන්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහේන් මෙන්ඩිස් කියා සිටියි.

වැඩ වර්ජනයට දින අසූ එකක්

දින අසූ එකක් ඉක්මවා ඇති විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වැරුමට රජය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම දෝෂ දර්ශනයට ලක් කළ සමස්ත ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෙප් ස්ටාලින් කියා සිටියේ, මේ ජනතා පෙළගැස්මෙන් පසුවත් ආණ්ඩුව සරසවි ඇදුරු වැටුප් අර්බුදය විසඳීමට කටයුතු නොකළහොත්, මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවයි.

පා ගමනට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සරසවි අදුරු අරගලය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩුව සරසවි ඇදුරු අරගලය කුමන්ත්‍රණයක් හැටියට හංවඩු ගැසුවත්, මෙය ජාතික ධනය සුරක්ෂිත කරමින් ජාතික ධනය රටේ ජනතාව වෙත වෙන් කරන කුමන්ත්‍රණයක් යයි පැවසූ සජිත් ප්‍රේමදාස, එම කුමන්ත්‍රණයට තමන්ද දායක වන බව කියා සිටියේය.

සරසවි ශිෂ්‍ය පා ගමන

සියයට හයක් අධ්‍යාපනයට වෙන් කළ නොහැකි බවට රජය කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ. ශ්‍රී ලංකාවට වඩා අඩු අදායම් ලබන රටවල් බොහෝ ගණනක් අධ්‍යාපනය සඳහා ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයක් වියදම් කරන බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර

"අපි ආචාර්ය වරුන්ගේ අරගලයට පුර්ණ ලෙස ඔවුන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම සඳහා සහාය දෙනවා"

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පා ගමනට සමාන්තරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පා ගමනද අද කොළඹ පුරහල අසලින් නිමාවට පත් විය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා අර අඳින බලවේග පවා සරසවි ඇදුරන්ගේ පා ගමනට සහභාගී වූ බැවින් තමන් වෙනම පා ගමනක යෙදුන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පවසන්නේ.

"නමුත් අපි ආචාර්ය වරුන්ගේ අරගලයට පුර්ණ ලෙස ඔවුන්ගේ අරගලය ජයග්‍රහණය කිරීම සඳහා සහාය දෙනවා," යයි ඔහු පැවසීය.

විරෝධතා පෙළපාලි පැවති අවස්ථාවේ කොළඹ නගරයේ දැඩි මාර්ග තද බදයක් තිබූ බව පවසන බි බි සී වාර්තාකරු රැළිය පැවති හයිඩ් පිටිය අවට ආරක්ෂාව තර කර තිබූ බවද සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.