ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සූරියවැවට 'ආශීර්වාදයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 22 සෙනසුරාදා - 19:24 GMT

සරෝජ් පතිරණ, සූරියවැව සිට

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ සූරියවැව ප්‍රදේශයේ ඉදිකරන ලද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තම ප්‍රදේශයට ආශීර්වාදයක් බව ප්‍රදේශවාසීහු පවසති.

විශේෂයෙන්ම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙන අවස්ථාවල තමන්ගේ ආදායමද ඉහල යන බවයි, සූරියවැව නගරයේදී මට හමුවුණු ත්‍රීරෝද රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන් කියා සිටියේ.

කෙසේ නමුත්, තවත් ව්‍යාපාරික කාන්තාවකගේ අදහස වුනේ ආදායමේ විශේෂ වැඩිවීමක් දක්නට නොලැබෙන බව.

සෙනසුරාදා පැවැත්වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟය නැරඹීම සඳහා ප්‍රදේශවාසීන්ගේද විශාල උනන්දුවක් පැවැති බව පැවසූ සූරියවැව වැසියෝ, කෙසේ වුවත් ක්‍රීඩාංගණයේ විකිනූ ප්‍රවේශ පත්‍ර ඉතා ඉක්මනින්ම අවසන් වූ බවත්, අනෙක් අයට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා හම්බන්තොට බලා යාමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් පැවසූහ.

ක්‍රීඩාංගණයේ මීට වඩා ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන්නේ නම් යෝග්‍ය බවද ඒ සියලු දෙනාම ප්‍රකාශ කළහ.

ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා විශේෂයෙන්ම කොළඹ සහ වෙනත් ප්‍රධාන නගරවල සිට සූරියවැව බලා දීර්ඝ චාරිකාවක යෙදීමට සිදුවීමත්, ඉන් අනතුරුව ඒ බොහෝ දෙනාට යලි සිය නිවෙස් බලා යාමට එවැනිම ඉතා වෙහෙසකර දීර්ඝ චාරිකාවක යෙදීමට සිදුවීමත් ක්‍රීඩාලෝලීන්ගේ මනාපයට හේතුවනු නැති බවයි, සෙනසුරාදා උදෑසනම කොළඹින් පිටත්වී සූරියවැවට පැමිණි මට හැඟුනේ.

කෙසේ නමුත්, අලුතින්ම ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගණය නැරඹීම සඳහාම ඇතැම් ක්‍රීඩාලෝලීන් ප්‍රධාන නගරවල සිට සූරියවැවට පැමිණීමට උනන්දුවක් දැක්වූ බවත් මට දැකගැනීමට හැකිවිය.

පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට අනුග්‍රහය දැක්වීමටද සැලසුමක් තිබූ බැවින් ක්‍රීඩාංගණය ඉතා පුළුල්ව සකස්කොට තිබෙන අතර, ඒ නිසාම ක්‍රීඩා ලෝලීන්ට තරඟ නැරඹීමට සිදු වී තිබෙන්නේ තණතීරුවේ සිට ඉතා ඈත සිටයි.

අනෙක් අතට සියලුම මාර්ග නවීකරණය කොට තිබෙන හෙයින් සිකුරාදා කොළඹ සිට මහනුවරට යාමට ගතවූ කාලයට අඩු වේළාවකින් හම්බන්තොටට පැමිණීමට මටත්, කොළඹ සිටින බීබීසී නිෂ්පාදක අසාම් අමීන්ටත් හැකි වූ බවත් මා සඳහන් කළ යුතුයි.

බංගලදේශය සහ නවසීලන්තය අතර තරඟය

මේ අතර T20 ලෝක ශූරතාවලියේ ඩී කාණ්ඩයේ පළමු තරඟයේ දී සිකුරාදා බංග්ලාදේශය ලකුණු 59කින් පරාජය කළ රොස් ටේලර් ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම ජගත් ශූරතාවය දිනා ගැනීමෙහිලා සිය පළමු කඩුල්ල පසුකරමින් ප්‍රබල දස්කම් දැක්වීම කැපී පෙනුනේය.

නවසීලන්ත පිලේ බ්‍රෙන්ඩන් මැකුලම් ලකුණු123ක් රැස්කිරීමට සමත්වීම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ විශේෂතම සිදුවීමයි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ් කණ්ඩායමේ නායක මුෂ්ෆිකර් රහීම් පන්දුවට පහරදීම නවසීලන්තයට භාර දුන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඉන් අනතුරුව බංග්ලාදේශ් පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන්ගේ පිති ප්‍රහාරය ආරම්භයේදී සීමා කිරීමට සමත් වූ නමුත්, විශේෂයෙන්ම මැකුලම්ගේ ප්‍රබල පිති ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ වූ හැඩකුයි, දක්නට ලැබුනේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.