"රාජපක්ෂ පවුලට විරුද්ධ පුවත් තහනම් කළා" - ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 21 සිකුරාදා - 16:30 GMT
Fredrica Jansz

ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයනට අවාසි සහගත පුවත් පළ නොකරන ලෙස සන්ඩේ ලීඩර් පුවත් පතේ නව හිමිකරු තමන්ගෙන් ඉල්ලා සිටි බව කතෘ පදවියෙන් පහ වුනු ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් පවසයි.

අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රදායක් අනුව තම පුවත් පත මෙහෙයවූ හෙයින් මෙම බලකිරීම් වලට එකඟ වීම ප්‍රතික්ෂේප කල බවද ඇය ප්‍රකාශ කළාය.

"රාජපක්ෂ පවුලේ අයට විරුද්ධව පුවත් පතේ කිසිදෙයක් ලියන්න එපා කියල එයා මට කිව්වා", නව හිමිකරු වන අසංග සෙනවිරත්න කරන ලද බලපෑම් පැහිදිලි කරමින් සංදේශයට කතා කළ හිටපු කතු වරිය කියා සිටියාය.

ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු, 2009 දී කතෘ ධුරයට පත් ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්, තම පුවත් පතේ අපක්ෂපාතී භාවයට හාණි කර, ශ්‍රී ලංකාව තුළ පළ කෙරෙන එකම නිදහස් පුවත් පත පාලක පක්ෂයේ ග්‍රහණයට යට කර ගැනීම නව හිමිකරුගේ අරමුණ බවටද චෝදනා කළාය.

"මම දන්නවා ජනාධිපති හිනා වෙනවා ඒ කාටුන් වලට"

කාටුන් දාන්න එපා

"මට කිව්වා ජනාධිපති වරයාගේ කාටුන් දාන්න එපා. මම අසංගට කිව්වේ ප්රෙසිඩන්ට් කාටුන් වලට කැමතියි. මම දන්නවා ජනාධිපති හිනා වෙනවා ඒ කාටුන් වලට".

තමාට ඉහලින් පත් කෙරෙන නව ප්‍රධාන කතුවරයෙක් විසින් සියලු පුවත් අනුමත කිරීමට අයිතිකරු උත්සාහ ගත් අවස්ථාවේ දී තමන් විරෝධය පළ කිරීමෙන් පසු තමා සේවයෙන් පහ කළ බවයි ඇය තවදුරටත් කියා සිටියේ.

මේ පිළිබඳව සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් ලීඩර් ප්‍රකාශන සමාගමේ නව හිමිකරු වන අසංග සෙනවිරත්න, හිටපු කතුවරියගේ ප්‍රකාශය තමා ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

"පුවත් පතේ පළවූ අසත්‍ය හා වගකීමකින් තොර තොරතුරු පිළිබඳව සොයා බැලීමට නව කතුවරයෙක් පත් කිරීමට හිටපු කතුවරිය විරුද්ධ වුනා. ඇය සේවයෙන් පහ කලේ ඒ හේතුවටයි". නව හිමිකරු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.