නැගෙනහිර ඉදිරි පාලනය 'බලය බෙදීමට කැපවිය යුතුයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 9 ඉරිදා - 14:46 GMT
Minister Rauf Hakeem (C)

ඉදිරි පළාත් සභා පාලනයක් බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වග බලා ගතයුතු බව රවුෆ් හකීම් පවසයි

නැගෙනහිර චන්ද ප්‍රථිපලය බලය බෙදීම සඳහා ජනතාව තුල ඇති අභිලාෂය විදහා දක්වන්නක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

එබැවින් ඉදිරි පළාත් සභා පාලනයක් 'යහ පාලනය, බලය බෙදාහැරීම පිලිබඳ ජනතාවගේ හැඟීම් වලට ගරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට' වග බලා ගතයුතු බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

නැගෙනහිර ආණ්ඩු බලය පිහිටුවීම සඳහා හවුල් වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ දමිළ ජාතික සන්ධානයෙන් මේ වනවිටත් ඇරියුම් ලැබී ඇති බව ද ඔහු පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තමන් සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බව බීබීසී සංදේශයට පැවසූ රවුෆ් හකීම් අමාත්‍යවරයා අවසාන තීන්දුවකට ඒම සඳහා සඳුදා නැගෙනහිර පළාතේ පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් හමුවීමට යන බව ද කියා සිටියේය.

'රූකඩ මහ ඇමැති ධුරයක්'

"අපට වගකීමක් තියෙනවා ජනතාව අතරට ගිහිල්ලා මින් ඉදිරියට අපි කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න," අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේය.

එමෙන්ම බලය බෙදීමේ කාර්යයන් මෙතෙක් සිදුවූ අන්දමට නොව "ඊට වඩා ශක්තිමත්ව" සිදුවිය යුතු බව ජනතාව ලබා දී ඇති පණිවුඩය බවයි මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා පවසන්නේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකුට මහ ඇමති ධුරය ලබාගැනීම ද නැගෙනහිර මුස්ලිම් කොන්ග්‍රස් ඡන්දදායකයාගේ අපේක්ෂාවක් බව කී රවුෆ් හකීම්, "රූකඩ මහ ඇමැති ධුරයක්" පැවතීමේ අවශ්‍යතාවක් නැති බවද පැවසීය.

"ඇත්ත බලය භුක්ති විඳීම පරිසරයක් ඇති කිරීමට," වග බලා ගැනීමේ වගකීමක් තමන්ට ඈති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.