මැතිවරණ දූෂණ සිදුවන බව 'කොමසාරිස් පවා පිළිගන්නවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 2 ඉරිදා - 14:20 GMT
Election violence in Akkaraipattu (file photo)

අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල උත්සන්න වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවද කොමසාරිස්වරයාට පැමිණිලි ලැබී තිබේ

තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයේ දී දූෂණ සහ වංචා සිදුවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවා පිළිගෙන ඇතැයි විරුද්ධ පක්ෂ නායකයෝ පවසති.

මැතිවරණ නීති උල්ලංඝනය කරන දේශපාලන නායකයන්ගේ නිවාසවලට කඩා පැනීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණ කිරීම එයට හොඳම සාක්ෂිය බවයි, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන සමයේ රාජ්‍ය නිලධාරීනට ලබා දී ඇති ස්ථාන මාරු අවලංගු කිරීමට කොමසාරිස් මහින්ද දේශප්‍රිය පියවර ගැනීම ඔහු පෙන්වා දෙන තවත් උදාහරණයක්.

"රාජපක්ෂලාගේ හොර ඡන්දයක් කියලා දැන් කවුරුවත් කියන්න අවශ්‍ය නෑ ඒකට හොඳම සාක්ෂි කරුවා මැතිවරණ කොමසාරිස්වරයා"

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

"රාජපක්ෂලාගේ හොර ඡන්දයක් කියලා දැන් කවුරුවත් කියන්න අවශ්‍ය නෑ ඒකට හොඳම සාක්ෂි කරුවා මැතිවරණ කොමසාරිස්වරයා," බව ද ආචාර්ය කරුණාරත්න පැවසීය.

'කොම්පියුටර් ජිල්මාට්'

මේ තත්ත්වය යටතේ එළැඹෙන මැතිවරණයේ තීන්දුව පිලි ගැනීමට තමන් සූදානම් නැති බව ද විරුද්ධ පක්ෂ පවසති.

සාධාරණ මැතිවරණයක් පැවැත්වුන හොත් උතුරු මැද සහ සබරගමු පළාත් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවයි, මාධ්‍ය හමුවට එක්ව සිටි පක්ෂයේ මාද්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ.

"කොම්පියුටර් ජිල්මාට්" යොදා ගනිමින් ආණ්ඩු පක්ෂය දිගටම මැතිවරණ ජයග්‍රහණය කරන බවට පැතිර යන ප්‍රචාරය ද ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයේම කොටසක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

"අපි ජනතාවට කියන්නේ ඔය කොම්පියුටර් ජිල්මාට් කතාව බොරුවක්. ඒකට රැවටෙන්න එපා. හරියට චන්දෙ පාවිච්චි කළොත් අනිවාර්යයෙන්ම මේ පළාත් සභා තුනම ජයග්‍රහණය කිරීමේ හැකියාව පිට තියෙනවා," යයි ද සමරවීර මන්ත්‍රීවරයා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.