විශ්ව විද්‍යාල වසා දැමීම උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ - ජවිපෙ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 22 බදාදා - 12:49 GMT
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මෙලනය.

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනට වෙන් කරන මෙන් ආචාර්යවරු ඉල්ලා සිටිති.

සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට විසදුම විශ්ව විද්‍යාල වසා දැමීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි.

වෛද්‍ය පීඨ හැරුණු කොට රටේ සියලුම විශ්ව විද්‍යාල දින නියමයකින් තොරව වසා දමන බව රජය පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කළේය.

1987-88 භීෂණ වකවානුවේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමෙන් අනතුරුව දින නියමයකින් තොරව විශ්ව විද්‍යාල වසා දැමුණු මුල්ම වතාවයි මේ.

බත්තරමුල්ල පැලවත්තේ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයම අවුලෙන් අවුලට පත්ව ඇති බවයි.

"මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම," යැයි ඔහු පැවසීය.

අධ්‍යාපනයට සියයට හයක්

උසස් අධ්‍යාපනයේ යොදවන මුදල වැඩිකොට උගැන්ම ප්‍රමුඛස්තානයක ලා සලකන ලෙස රජයට බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජනයට දින 50 කට ආසන්න වෙද්දී යි රජය විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගත්තේ.

ටිල්වින් සිල්වා

"මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම"

අධ්‍යාපන සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන මෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය කර ඇති ඉල්ලීම සාධාරණ බවද ජවිපෙ ලේකම් වරයා කියා සිටියි.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන රජය උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපනය ද අවදානමේ හෙලන්නට සුදානම් වන බවට සරසවි ආචාර්ය මණ්ඩල අඟහරුවැදා පැවැති මාධ්‍ය හමුවකදී අනතුරු අඟවා සිටියහ.

වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කරමින් සිටින බවට චෝදනා කරන ජවිපෙ එහි ඵල විපාක දැනගැනීමට තවත් වසර ගතවනු ඇතැයි ද, එබැවින් එතෙක් කල් නොසිට අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙරමුණ ගත යුතුව ඇතැයි ද කියා සිටියේය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයට ජවිපෙ සම්පුර්ණ සහාය ලබා දෙන බවයි ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.