
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ නියෝජිත කමිටුවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය නිරීක්ෂණය සඳහා පැමිණීම අනුමත කරන බව රජය ප්‍රකාශ කරයි.
කැබිනට් තීරණ කොළඹදී 16 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ රටේ වත්මන් තත්වය එක්සත් ජාතීන් විසින් සොයා බැලීම ගැන රජයේ විරෝධතාවක් නැති බවයි.
පැමිණීමට නියමිත නිරීක්ෂණ කමිටුවේ අපේක්ෂාව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමේ ප්‍රගතිය එක්සත් ජාතීන් වෙත වාර්තා කිරීමයි.
නවනීදන් පිල්ලේ මහ කොමසාරිස් වරිය විසින් නම් කරන ලද නිරීක්ෂකයන් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට පදනම් වී ඇත්තේ ඉකුත් මාර්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවයි.
LLRC නිර්දේශ

කොටි සංවිධානයට එරෙහිව රජය දියත් කළ යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝන සිදුවූ බවට චෝදනා
දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහිව රජය දියත් කළ යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝන ලෙසින් උගත් පාඩම් කොමිසමේදී (LLRC) වාර්තා වූ තොරතුරු කරන ලෙසත් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නිරීක්ෂක කමිටුව විසින් ඉදිරි නොවැම්බරයේදී එජා මානව හිමිකම් මණ්ඩලය පවත්වන ශ්‍රී ලංකාව සම්බන්ධ සර්ව වාරික විමර්ශනය (Universal Periodic Review) වෙත ලබා දීමට නියමිතයි.
ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් යුතු නිරීක්ෂණ කමිටුව සමන්විත වන්නේ ස්පාඤ්ඤය හා බෙනින් යන රටවල නියෝජිතයන්ගෙන්.
ඒ රටවල් පසුගිය මාර්තුවේ ජිනීවාහි මුළු දුන් මානව හිමිකම් මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත කරගැනීමට ඡන්දය දුන් රටවල් 24 ට ඇතුළත්.
කවර රටවල නියෝජිතයන් නිරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණෙන්නේද යන්න 'අදාළ නැති' බවයි ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ.
රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ 'ස්ථාවර භාවය, ශක්තිය, නිවැරදි භාවය හා සුභවාදී තත්වය,' ලෝකය හමුවේ පෙන්වා දීම රජයේ අපේක්ෂාව බවයි.








