නොරොච්චෝලේ බලාගාරයේ උපාංග තත්ත්වයෙන් බාලයි - ලංවිම

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 14 අඟහරුවාදා - 15:07 GMT
Norochchole power plant

'සමහර වෙලාවට නල පද්ධතියක් පුපුරනවා. සමහර වෙලාවට වෑල් වලින් හුමාලය ලීක් වෙනවා'

තත්ත්වයෙන් බාල උපාංග යොදා ගෙන නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චීන සමාගම එම බාල තත්ත්වයේ උපාංග වෙනස් කිරීමට වගකීමෙන් බැඳී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

"ඒ කාලේ ඒක හදන කොට තත්ත්වයේ යම්කිසි බාලකමක් උපාංගවල තියෙන්න ඇති කියන එක දැන් ඔප්පු වීගෙන යනවා. සමහර වෙලාවට නල පද්ධතියක් පුපුරනවා. සමහර වෙලාවට වෑල් වලින් හුමාලය ලීක් වෙනවා," බවයි, ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම බීබීසී සංදේශයට කියා සිටියේ.

බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය රත්වීමට සහ සිසිලනය වීමට දින ගණනාවක් යාම බරපතලම ප්‍රශ්නය බවයි, සභාපතිවරයා පවසන්නේ.

"බලාගාරයේ තත්ත්වය පිළිබඳව ප්‍රශ්න තිබෙන බව අපිට පිළිගන්න සිද්ද වෙනවා," බව පවසන සභාපති සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, චීන යන්ත්‍රෝපකරණ සහ ඉංජිනේරු සංස්ථාව විසින් එම බලාගාරය ඉදිකිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ මුහුදු බඩ ප්‍රදේශයකට නොගැලපෙන යන්තර සූත්‍ර බව ද පිළිගත්තේය.

උත්පාදන යන්ත්‍රයේ තිබෙන දෝෂ වලට පිළියම් යෙදීම සඳහා කෙරෙන වියදම චීන සමාගමට දැරීමට සිදුවන බව පවසන සභාපතිවරයා, එවැනි උපකරණ ගෙන්වීම අනුමත කළ ශ්‍රී ලංකා බලධාරීන් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ පැවැත්වෙන බව ද ප්‍රකාශ කරයි.

නෝට්ටුවෙන් ඉවත් කරන්න

ජාත්‍යන්තර කම්කරු නීති බිඳලා

"නුපුහුණු, නුපුරුදු සේවකයෝ අරගන්න ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කරපු බව පට දැනගන්න ලැබුනා. ඒක ජාත්‍යන්තර කම්කරු නීති උල්ලංඝණය කිරීමක් නිසා අපි ඒ ගැන හෙට ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරන්න කටයුතු කරනවා"

ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සභාපති යූ ආර් කේ සේනාරත්න

මේ අතර ප්‍රකාශයක් කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, විදුලි බලය උත්පාදනය කිරීම ට අපොහොසත් වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ රූපය රුපියල් සියයේ නෝට්ටුවෙන් ඉවත් කළ යුතු බවයි.

"අකාර්යක්ෂම, දුර්වල, සර්ව දෝෂ වලින් පෙලෙන මහා ව්‍යසනයක පළමු අදියර" ලෙසිනුයි, ආර්ථික කටයුතු පිලිබඳ එජාප යේ ප්‍රකාශක ආචාර්ය හර්ෂ ද සිල්වා නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාර ව්‍යාපෘතිය හඳුන්වා දෙන්නේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක වියදමින් චීන යන්ත්‍රෝපකරණ සහ ඉංජිනේරු සංස්ථාව විසින් එම විදුලි බලාගාරය ඉදිකිරීම කිසිදු පාරදෘශ්‍ය කාර්ය පටිපාටියකින් තොරව දියත් වූ ව්‍යාපෘතියක් බවට ද එජාප මන්ත්‍රීවරයා චෝදනා කරයි.

පසුගිය සිකුරාදා සිට විදුලි බල මණ්ඩල සේවකයන් වැඩ වර්ජනයක නිරතව සිටියත්, සේවකයන් සියයට පණහක් සේවයට අඟහරුවාදා සේවයට වාර්තා කළ බවට බලධාරීන් ඉදිරිපත් කරන තර්කය මේ අතර වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරති.

ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සභාපති යූ ආර් කේ සේනාරත්න බීබීසී සංදේශයට කියා සිටියේ, සේවකයන් 13,000 කට අධික පිරිසක් මේ වන විට වැඩ වර්ජනයට සම්බන්ධව සිටින බවයි.

එමෙන්ම වැඩ වර්ජනයේ යෙදී සිටින සේවක සේවිකාවන් ගෙන් බලධාරීන් පලි ගනිමින් සිටින බව කම්කරු කොමසාරිස් වරියට වෘත්තීය සමිති පැමිණිලි කළ බවද ඔහු පැවසීය.

"ඒ වගේනම නුපුහුණු, නුපුරුදු සේවකයෝ අරගන්න ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කරපු බව පට දැනගන්න ලැබුනා. ඒක ජාත්‍යන්තර කම්කරු නීති උල්ලංඝණය කිරීමක් නිසා අපි ඒ ගැන හෙට ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරන්න කටයුතු කරනවා," බව ද යූ ආර් කේ සේනාරත්න පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.