ඡන්ද මැර ක්‍රියාවල යෙදුනත් ජනාධිපති අපි ආරක්ෂා කරාවි - ආණ්ඩු පක්ෂ මන්ත්‍රී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 12 ඉරිදා - 14:26 GMT

ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් කලක් මුළුල්ලේම මැතිවරණ දිනීම සඳහා මැර ක්‍රියාවල යෙදෙන්නේ කවර වරද කළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් ආරක්ෂා කරන බව විශ්වාස නිසා යයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඒ බව සඳහන් කළේ සේරුවිල, එළැඹෙන පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ට සහාය දීම සඳහා අලි ඔලුව ප්‍රදේශයේ දී පැවති රැස්වීමක් අමතමින්.

සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙවර මැතිවරණයේදී පාලක සන්ධානයේ අපේක්ෂකයන්ට සහාය පළ කරද්දී, උප සභාපතිවරයා විමල් වීරවංශ ඇමතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ අර්බුදයක් මතු වී තිබෙන බව එක් කථිකයෙක් එහිදී මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළේය.

ඡන්දදායකයන් මුලා කිරීම

එයට ප්‍රතිචාරය පළ කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ, මැතිවරණවලදී තමන් මුහුණපා තිබෙන ප්‍රශ්නවලට සාපේක්ෂව එය කිසිසේත්ම අර්බුදයක් නොවන බවයි.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වල දී තමන් කෙතරම් වාහන ගිනි තබා තිබෙන්නේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, එසේම තමන්ගේ බොහෝ වාහන ද ගිනිබත් කරන ලද බවත් පැවසීය.

2008 පළාත් සභා මැතිවරණය පිළිබඳව සඳහන් කළ මන්ත්‍රීවරයා, එහිදී තමන් ඡන්දදායකයන් මුලා කළ අන්දම ද පැහැදිලි කළේය.

ඇතැම් ප්‍රදේශවලට විදුලිය ලබා දෙන බව පවසමින් විදුලි රැහැන් වලට හැට්ට කටු ගසා නීති විරෝධී ලෙසින් නිවෙස්වලට විදුලිය ලබා දුන් බවත්, ට්‍රැක්ටර වලින් ජලය බෙදා දෙමින් ඇතැම් පළාත්වලට ජලය ලබා දෙන බවට පොරොන්දු වූ අන්දමත් සිහිපත් කළේය.

තමන් මේ සියලු මැර ක්‍රියා සහ ජනතාව මුලා කිරීමේ යෙදුනේ තමන්ට ලැබී තිබූ ජනතා බලය සහ කවර වරද කළත් ජනාධිපතිවරයා තමන් ආරක්ෂා කරන බවට තිබූ විශ්වාසය නිසා බව ද ඔහු සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.