ශ්‍රී ලංකාවේ යළි පදිංචි කරවීම සාර්ථකයි - එක්සත් ජාතීන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 3 සිකුරාදා - 14:32 GMT
War displaced in Sri Lanka (file photo)

වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ නිලධාරියා පවසයි

ශ්‍රී ලංකාව යුධ අනාථයන් යළි පදිංචි කරවීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුකොට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ මානවීය සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කරන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ වරයෙකු වන ජෝන් ගින් කියා සිටියේ යළි පදිංචි කිරීමේ කටයුතු වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව දකින්නට තිබෙන බවයි.

කෙසේ වෙතත් යළි පදිංචි කළ යුධ අනාථයන්ගේ ජීවන තත්වය ඉහල දැමීම සඳහා තවත් විශාල වැඩකොටසක් ඉදිරියට කිරීමට ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

උතුරු නැගෙනහිර පළාත්වල යටි තල පහසුකම් දියුණු කර ඇතැයි කියා සිටින ඔහු පශ්චාත් යුධ කාලයකදී අනිකුත් රටවලට මෙවැනි සංවර්ධනයක් ළඟා කරගැනීම පහසු නොවූ බව ද බීබීසී දෙමල සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙය සුවිශේෂී තත්වයක් ලෙස හැදින්වූ ජෝන් ගින් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බවද සඳහන් කළේය.

'ආධාර ලැබී නෑ'

උතුරු හා නැගෙනහිර සංචාරය කිරීමෙන් පසු මේ අදහස් පළකළ එක්සත් ජාතීන්ගේ නිලධාරියා යළි පදිංචි වූ ජනතාව එදිනෙදා මුහුණපාන පානිය ජලය ලබාගැනීම, සනීපාරක්ෂක පහසුකම්, නිවාස ඉදිකරගැනීම සහ රැකියා නොමැතිවීම වැනි ගැටළු සඳහා පිළියම් සෙවීම ශ්‍රී ලංකාව හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් බවයි පවසන්නේ.

යළි පදිංචි වූ ජනතාවගේ ජීවිත ගොඩ නැංවීම සඳහා දිගටම ආධාර ලබා දිය යුතු යයි පවසන ජෝන් ගින් කඳවුරු වල දිවිගෙවන සහ යළි පදිංචි කළ ජනතාව දහස් ගණනක් ඉතා කටුක සහ දුක්ඛිත තත්වයන් යටතේ තවමත් දිවිගෙවන බව අමතක නොකළ යුතුයිද සඳහන් කළේය.

තමන් යළි පදිංචි වූ යුධ අනාථයන් මුණගැසුණු බව කියා සිටි ඔහු යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැවැන්ත වැඩකොටසක් ඉටු කර තිබුනත් තවත් විශාල ප්‍රමාණයක් කළ යුතුව ඇති බවයි සඳහන් කළේ.

යුධ අනාථයන් යළි පදිංචි කිරීමට සහ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ඇතුළුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් පිහිටුවා තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ නිලධාරියා එම වැඩසටහන සඳහා අනුමත මුදලින් සියයට අසුවක් තවමත් ලැබී නැතැයිද කියා සිටියේය.

මේ නිසා යළි පදිංචි කළ ජනතාවට ආධාර සහ සහන සැපයීමේ කටයුතු වලට බාධා වී ඇතැයි ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකාවට ලැබිය යුතු ආධාර මුදල් කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකාව ඉටු කර ඇති වැඩකොටස දෙස බලා ඉතා සාධනීය ප්‍රතිරූපයක් ගොඩ නගා ගත හැකි බව පවසන ඔහු මානවීය කටයුතු සඳහා ලබාදෙන මුදල දෙගුණ කරන ලෙස ආධාර දෙන රටවලින් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.