කතෝලික නොවන කිතුනුවන් 'පහර කෑමට ලක්වෙලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 31 අඟහරුවාදා - 16:45 GMT

ලොව පුරා තම ආගමික විශ්වාසයන් ඇදහීමේ දී මුහුණපාන නෛතික සහ සාමාජයීය බාධක ආගමික නිදහස පිලිබඳ ජාත්‍යන්තර වාර්තාවේ මැනවින් ලේඛන ගත කර ඇතැයි හිලරි ක්ලින්ටන් කියා සිටියි.

තම අභිමතය පරිදි ආගමික නිදහස භුක්ති විදීමට නොහැකිව අති විශාල ජන පිරිසක් ලොව පුරා දිවි ගෙවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ ආගමික නිදහස පිලිබඳ වාර්ෂික ජාත්‍යන්තර වාර්තාවෙන් හෙළි වී තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය යටතේ ආගමික නිදහස තහවුරු කිරීමට ආණ්ඩු බැදී සිටියත් 2011 වසරේ ආගමික නිදහස සඳහා වූ වාර්තාව කියා සිටින්නේ ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් ආගමික නිදහසට වැට කඩොලු බැඳ ඇති රටවල දිවි ගෙවන බවයි.

ඉරානයේ සුෆි සහ බහායි භක්තිකයන්, ඊජිප්තුවේ කිතුනුවන්, ඉන්දුනීසියාවේ සහ පාකිස්තානයේ අහ්මදිස්වරු, තිබ්බතයේ බෞද්ධයන්, යුරෝපයේ මුස්ලිම්වරුන් 2011 වසර තුල පීඩාවට පත් ආගමික ජනකොටස් අතර වන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

පොදුවේ ගත් කල ශ්‍රී ලංකා රජය ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරමින් ආගමික නිදහසට ගරු කරන බව කියා සිටින වාර්තාව රටේ ආගමික නිදහස පුළුල් කිරීමට හෝ එයට තහංචි දැමීමට රජය පියවර ගෙන නැතැයිද ප්‍රකාශ කරයි.

නමුත් ප්‍රදේශ කිහිපයක දී ක්‍රිස්තියානි භක්තිකයන්ට කළ පහරදීම් ගණනාවක් පිලිබඳ තොරතුරු හෙළි කරන වාර්තාව ඉකුත් කාලය හා සසඳන කල අන්‍යාගමික ආයතන වලට කළ පහරදීම් වල අඩුවක් දක්නට ලැබෙන බවයි කියා සිටින්නේ.

ආගමට හැරවීම

ගතවූ වසර තුළ වැඩි වශයෙන් ප්‍රහාරයන්ට ගොදුරුවී ඇත්තේ කතෝලික නොවන එවන්ජලික හෙවත් ධර්ම දූත කිතුනුවන් යයි පෙන්වා දෙන වාර්තාව, ඔවුන්ට කළ පහරදීම් පහක් පිළිබඳවද සඳහන් කර තිබේ.

දඹුල්ලේ ආගමික  විරෝධතා

දඹුල්ලේ ආගමික විරෝධතා

ඇතැම් අවස්ථාවල එම කිතුනුවන්ට එරෙහිව කළ තර්ජනය කිරීම් සහ පහරදීම් සඳහා නායකත්වය දී ඇත්තේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා යයි වාර්තාව කියා සිටී.

රත්නපුරයේ ජාතික සුභාරංචි පල්ලියේ පුජක වරයාට ප්‍රදේශය අතහැර යන ලෙස බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් තර්ජනය කිරීම හේතුවෙන් එම ආගමික මධ්‍යස්ථානයේ කටයුතු නැවතී ඇතැයිද පෙන්වා දෙන වාර්තාව එක අවස්ථාවකදී පල්ලියකට ගිනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද සඳහන් කරයි.

සදාචාරාත්මක නොවන ක්‍රම යොදාගෙන ජනතාව කිතුනු ආගමට හරවා ගන්න බව බෞද්ධ නායකයන් එල්ල කරන චෝදනාවක් බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව පවසන්නේ.

වාසි සලසා දී ශ්‍රී ලාංකික කතෝලිකයන් සහ බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ ව්‍යායාමයක ඇමෙරිකානු මුලධර්මවාදීන් යෙදී සිටින බවට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රධානී මැල්කම් රන්ජිත් කාදිනල් තුමා චෝදනා කළ බවද මෙම වාර්තාව සඳහන් කරයි.

මෙම චෝදනා ධර්ම දූත කිතුනුවන් විසින් ප්‍රතික්ෂේප කරන බව පවසන වාර්තාව මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ධර්ම දූත සන්ධානය මැල්කම් රන්ජිත් කාදිනල් තුමාට කළ ආරාධනය එතුමා විසින් පිළිනොගත් බවයි කියා සිටින්නේ.

බෞද්ධයන් විසින් අනුරාධපුරයේ අනවසර මුස්ලිම් පල්ලියක් කඩා ඉවත් කර ඇතැයි සඳහන් කරන වාර්තාව මේ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණ වලදී රජය විසින් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපය විවේචනය කළ බවද වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.