මුස්ලිම් ජනතාවටත් නැගෙනහිර අයිතියි - රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 29 ඉරිදා - 14:03 GMT
Ranil Wickramasinghe in Batticaloa (file photo)

රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට නැගෙනහිර පළාත පිළිබඳව වෙනම අයිතියක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.

එජාප සහ විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව ප්‍රකාශ කළේ ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා අම්පාරේ පැවති රැස්වීමක් අමතමින්.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ උරුමය රැක දෙනු වෙනුවට මුස්ලිම් ජනතාවට එරෙහි ක්‍රියාදාමයක නිරතව සිටින බවට විපක්ෂ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය.

"පල්ලි කඩනවා, ඒගොල්ලන්ට හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ," බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පසුගියදා රට පුරා ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාර පිළිබඳව අවධානය පළ කරමින්.

මෙවර තනි පක්ෂයක් ලෙසින් මැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට පිළිබඳව සඳහන් කළ විපක්ෂ නායකවරයා පැවසුවේ: "මොකක්ද අද වෙලා තියෙන්නේ? ඒගොල්ල දියුණු වුනා, මුස්ලිම් ජනතාව අනාථ වුනා," බවයි.

එමෙන්ම රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි.

"ගොවි මහතුන්ට උදවු කරන්න මුදල් නෑ. ජනාධිපතිතුමා අලුතෙන් හෙලිකොප්ටර් විස්සක් ඉල්ලලා තියෙනව. මොනවා කරන්නද වී ටික කොළඹට දාන්නද හෙලිකොප්ටර් එකෙන්?," ඔහු ප්‍රශ්න කරයි.

ගොවි ගැටලුවලට හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට පිළියම් යෙදීමට මුදල් නැති ආණ්ඩුව, දැයට කිරුල වැනි සංදර්ශන වෙනුවෙන් අනවශ්‍ය ජනතා මුදල් නාස්තියක නිරතව සිටින බව විපක්ෂනායක වරයාගේ අදහසයි.

නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සඳහා පළාත් සභා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.