ඇමැති බදියුද්දීන්ට උසාවියෙන් නොතීසි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 26 බ්‍රහස්පතින්දා - 12:22 GMT

උතුරේ උසාවි වර්ජනයට දිවයිනේ සියලුම නීතිඥවරුන්ගේ සහාය පලවී තිබුණි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබන කර්මාන්ත හා වාණිජ කටයුතු භාර අමාත්‍යවරයා උසාවියට කැඳවීමට දෙනු ලැබූ නියෝගය නීතිවේදීන් විසින් හඳුන්වනු ලැබුයේ අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නීතිඥවරුන් ගත් ක්‍රියාමාර්ගයේ ජයග්‍රහණයක් ලෙසයි.

මන්නාරම මහේස්ත්‍රාත් අන්තෝනිපිල්ලේ ජුඩ්සන් හට දුරකතනයෙන් තර්ජනය කළ රිසාත් බදියුද්දීන් අමාත්‍යවරයා, විනිසුරුවරයා මාරු කර යවන ලෙස අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න හට බලපෑම් කළ වගට චෝදනා නගා නීතිවේදීන් හත් දෙනකු විසින් ගොණු කැරුණු පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය අමාත්‍යවරයාට සැප්තැම්බර් පස් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බ්‍රහස්පතින්දා නියෝග කොට තිබේ.

පෙත්සම්කාර නීතිඥ වරයකු වන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රපාල කුමාරගේ අධිකරණ නියෝගයෙන් අනතුරුව මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන බලවතුන් අධිකරණයට බලපෑම් හා තර්ජන කිරීම භයානක ප්‍රවණතාවක් බවයි.

එය ''ලත් තැනම ලොප් නො කළොත් ඉදිරි කාලයේදී අධිකරණය විධායකයට ම භාර කළ තත්වයක්'' උදා වනු ඇතැයි අධිනීතිඥ කුමාරගේ අනතුරු ඇඟවීය.

'ස්වාධීන පරීක්ෂණයක්'

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙස අමාත්‍ය බදියුද්දීන්ට නියෝග කළ රන්ජිත් සිල්වා හා නලින් පෙරේරා විනිසුරු වරුන්, පෙත්සම් කරුවන් හා ඔවුන්ගේ ඥාතීන්ට තර්ජනය කළහොත් අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවත් දැනුම් දුන්නැයි කේ එස් උදයකුමාර් වාර්තා කරයි.

"ලත් තැනම ලොප් නො කළොත් ඉදිරි කාලයේදී අධිකරණය විධායකයටම භාර කළ තත්වයක්"

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ

මේ අතර රජය ප්‍රකාශ කොට සිටින්නේ අමාත්‍ය බදියුද්දීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

තරාතිරම නොබලා වරද කරුවන්ට දඬුවම් දීමට රජය පසුබට නොවන බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

නඩු තීන්දුවක් ඉවත් කරගන්නා ලෙස බලකරමින් අමාත්‍ය බදියුද්දීන් මන්නාරම මහේස්ත්‍රාත් වරයා හට ජූලි 18 වැනි බදාදා රාත්‍රියේ තර්ජනය කළ බවට චෝදනා නගා වවුනියාව, මන්නාරම, මුලතීව් හා කිලිනොච්චි නීතිඥ සංගම් දියත් කළ උසාවි වර්ජනයකට දිවයිනේ සියලුම නීතිඥවරුන්ගේ සහාය පලවී තිබුණි.

මන්නාරම උප්පුකුලමේ, කෝන්දෙයිපිටි ධීවර ගම්මානයට ජූලි 13 වැනිදා කඩා වැදී විනාශයක් සිදු කළ බවට සැක කැරෙන දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට දුන් නියෝගයක් ඉල්ලා අස් කරගන්නා ලෙස බදියුද්දීන් අමාත්‍ය වරයා දුරකතනයෙන් තර්ජනය කළ බවට මන්නාරම මහේස්ත්‍රාත් වරයා අධිකරණ අමාත්‍යංශ ලේකම් වරයාටත් නීතිපති වරයාටත් පැමිණිලි කොට ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.