අතුරුදහන් පුතා මුදා හරින්න කෝටියක කප්පමක් ඉල්ලුවා - දෙමළ මවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 16 සඳුදා - 12:40 GMT
Tamil people in Sri Lanka

ඉකුත් වසර අවසාන වන විට ශ්‍රී ලංකාව තුල අතුරුදන්වී ඇති සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවන බව රතු කුරුස සංවිධානය පවසයි

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින තම දරුවන් මුදා හැරීම සඳහා රුපියල් කෝටියක මුදලක් ලබා දෙන මෙන් නොහඳුනන පුද්ගලයෙක් දුරකථනයෙන් තමන්ට දැනුම් දුන් බව අතුරුදහන් වූ දෙමළ තරුණයෙකුගේ මව පවසන්නීය.

2008 සිට අතුරුදහන්ව සිටින ඩිලාන් රාජරත්නම් තරුණයාගේ මව මේ බව කියා සිටියේ මීට වසර කිහිපයකට ඉහතදී කොළඹදී දෙමළ ජාතික තරුණයන් පස් දෙනකු අතුරුදහන් වීම පිළිබඳව පැවති අධිකරණ පරීක්ෂණයක් ඉදිරියේ සාක්ෂි දෙමින්.

මෙම තරුණයන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

අතුරුදහන්ව සිටින තරුණයන්ගේ මාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි, මෙම පරීක්ෂණය ආරම්භ කෙරුනේ.

නාවුක හමුදා අත් අඩංගුවේ

පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඩිලාන් රාජරත්නම් ගේ මව කියා සිටියේ 2008 සැප්තැම්බර් දාහත් වැනි දින සිය පුත්‍රයා කොණ්ඩය කපා ගැනීම සඳහා නිවසින් පිටව යාමෙන් අනතුරුව අද වන තුරු තමන්ට දක්නට නොලැබුණු බවයි.

ඔහු අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට සහ මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළ බවත් ඇය පවසන්නීය.

එයින් මාස තුනකට පමණ පසුව සිය පුත්‍රයා සමඟම අතුරුදහන් වූ රජීව් නාගනාදන් තරුණයාගේ මව දුරකතනයෙන් අමතා ඇති අන්නච්චි නමැති පුද්ගලයෙක්, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සම්පත් මුණසිංහ සහ හෙට්ටිආරච්චි යන නිළධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් අතුරුදහන් වූ දරුවන් දෙදෙනා නාවුක හමුදා අත් අඩංගුවේ සිටින බවත් දැනුම් දී ඇති ද සාක්ෂිකාරිය සඳහන් කළා.

කප්පම් ඉල්ලීමේ සිද්ධිය පිළිබඳව රහස් පොලීසියට පැමිණිලි කළත්, තම දරුවන් සොයා දීමට පියවර නොගත් බවට ඇය පොලීසියට චෝදනා කළාය.

ත්‍රිකුණාමල නාවුක හමුදා කඳවුරේ රඳවා සිටින තම දරුවන් කෙසේ හෝ ලබාදෙන මෙන් නියෝගයක් පනවන ලෙස සාක්ෂි විභාගය අවසානයේදී සාක්ෂිකාරිය හැඬු කඳුලින් යුතුව අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.