ග්‍රීසියේ ආයෝජනයෙන් 'ආර්ථිකය අනතුරේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 10 අඟහරුවාදා - 16:23 GMT
Homeless in Greece

ආර්ථිකය බිඳ වැටුන ග්‍රීසියට ඩොලර් කෝටි ගණනක ණය ලබාදීමට යුරෝපා නායකයන්ට සිදුවිය

ශ්‍රී ලංකාවේ මහා බැංකු අධිපති වරයා කෙරේ කිසිදු විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ඊට හේතුව ලෙස එම පක්ෂය දක්වා සිටින්නේ ආර්ථිකය බිඳ වැටෙන ග්‍රීසියේ බැඳුම්කර වල රජය මුදල් ආයෝජනය කොට පාඩු ලැබීමයි.

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත්දා පිළිගෙන තිබුනැයි වාර්තා වූ පරිදි ග්‍රීක ආයෝජනයෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි එකසිය පණහක්.

කෙසේ වෙතත් ජුලි හත් වැනිදා නිකුත් කළ නිවේදනයකින් මහා බැංකුව ප්‍රකාශ කොට තිබුනේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය සමස්ත යුරෝපීය ආයෝජනයෙන් අංශු මාත්‍රයක් වන හෙයින් වෙනත් ආයෝජන වල ලාභයෙන් පාඩුව පියවා ගැනුණු බවයි.

මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහා බැංකුව ශ්‍රී ලංකාවට බරපතල මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා චෝදනා කළේය.

'ණය මුදල් ආයෝජනය කරලා'

"අපි ලබාගත්ත ණය මුදල් ආයෝජනය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මෙහෙම ආයෝජනය කරන්න විදේශ වත්කම් ලැබෙන්නේ විදේශ ණයවලින් අරගෙන මෙහෙ ආයෝජනය කරල"

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක

"මහා බැංකුවට නම් මේක සිම්පල් වැඩක්. අපි ලබාගත්ත ණය මුදල් ආයෝජනය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මෙහෙම ආයෝජනය කරන්න විදේශ වත්කම් ලැබෙන්නේ විදේශ ණයවලින් අරගෙන මෙහෙ ආයෝජනය කරල ," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම කෝටි හයදහස් හාරසීයකින් අඩුවී ඇති නිසා අය වැය හිඟය පියවා ගැනීමේ බරපතල ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණපා ඇතැයිද එක්සත් ජාතික පක්ෂය පවසයි.

එකසත් ජාතික පක්ෂ මහා ලේකම් වරයා කියා සිටියේ මේ ආයෝජනයෙන් මහබැංකු අධිපති වරයා රටේ ආර්ථිකය අනතුරේ හෙලා ඇති බවයි.

"සක්විතිගේ මූල්‍ය ආයතනයේ මුදල් දැම්ම වගේ තමයි මහා බැංකුව කරලා තියෙන්නේ," තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මහා බැංකු අධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බවද ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

ග්‍රීක ආයෝජනයේ පාඩුව තිබියදීත් ඉකුත් වසරේ විදේශීය තැන්පතු වලින් උපයා ගත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 43 ක් බවයි මහා බැංකුව පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.