ජූලම්පිටියේ අමරේ අධිකරණයට භාරවීමේ ක්‍රමය ප්‍රශ්න කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 20 බදාදා - 15:12 GMT

හම්බන්තොට කටුවන රැස්වීමකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කළ බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් චෝදනා එල්ලකරන ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ තංගල්ල අධිකරණයට භාරවීමේ ක්‍රමය විනිසුරුවරයා පවා ප්‍රශ්න බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

මේ පුද්ගලයා භාරවී ඇත්තේ මහාධිකරණයට බවත්, භාරවීමට පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය කරුවන් අමතමින් පැවසුවේය.

තවමත් සිරගත නොකළ අයකු බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණය වෙත පැමිණෙන්නේ කෙසේදැයි විනිසුරුවරයා ප්‍රශ්න කළ විට බන්ධනාගාර අධිකාරිවරයාගේ උපදෙස් පිට තමන් එසේ කිරීමට පියවර ගත් බව බන්ධනාගාර නිලධාරීන් විසින් පිළිතුරු දී ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

"වත්මන් ආණ්ඩුව ඝාතකයන් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක නියලී සිටින බව මෙවැනි ක්‍රියාවලින් මනාව ඔප්පු වෙනවා "

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

වත්මන් ආණ්ඩුව ඝාතකයන් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක නියැලී සිටින බව මෙවැනි ක්‍රියාවලින් මනාව ඔප්පු වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

"ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන තමන්ගේ යටතේ තබා ගෙන මෙවැනි මැරයන් හදනවා. ඔවුන්ගෙන් වැඩ ගන්නවා විතරක් නොවෙයි ඔවුන් ආරක්ෂා කරලා ඊළඟට ඒවා වෙනත් අය මත පටවන්න, නොමග යවන්න බොරු කියල මේක බේරගන්න වැඩ කරනවා," ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය කරුවන් අමතමින් තවදුරටත් පැවසුවේය.

ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ බන්ධනාගාරයට භාරවීම හේතුවෙන් කටුවන ද්විත්ව මිනීමැරුමේ පරීක්ෂණ කටයුතු සංකීර්ණ විය හැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඉකුත් සිකුරාදා හම්බන්තොට කටුවනදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී යතුරු පැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.