ඉඩම් අත්පත් කරගැනීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 15 සිකුරාදා - 13:48 GMT
Sri Lanka military

එහි යුද හමුදා කදවුරක් ඉදිකිරීමට නියමිතව ඇති නිසා ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස යුද හමුදා කණ්ඩායමක් දැනුම්දුන් බව පෙත්සම්කරුවෝ කියා සිටියහ

ඔලිවිල් කේෂන්කෙර්නි ගම්මානයේ ඉඩම් අත්පත් කරගැනීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදාවට නියෝග කරයි.

එම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ඉදි කිරීමට යෝජිත අතර ගම්වාසීන් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි, ලබන මස 23 වෙනිදා තෙක් බල පැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත්කරනු ලැබුවේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී තම ගම්මානයට පිවිසි යුද හමුදා කණ්ඩායමක් එහි යුද හමුදා කදවුරක් ඉදිකිරීමට නියමිතව ඇති නිසා ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම්දුන් බව පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ කියා සිටියහ.

ඉන් පසු පවුල් කිහිපයක් ගම්මානයෙන් ඉවත්ව ගිය බව පැවසූ පෙත්සම්කරුවෝ එහි ප්‍රතිපලයක් ලෙස කේෂන්කෙර්නි ගම්මානයේ පවුල් පනහකට අධික සංඛ්‍යාවක් සිය වාසස්ථාන අහිමිවීමේ අවදානමකට මුහුණ පා ඇතැයි පැවසූහ.

පැමිණිල්ලේ නීතිඥයා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් වාසය කරන ඉඩම්වලට අදාළ බලපත්‍ර පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට බල රහිත වී ඇති නිසා ඒවා රජයට පවරා ගැනීමේ බලයක් පවතින බව කියා සිටියේය.

එම ප්‍රකාශයට විරෝධය පාමින්, බලපත්‍ර අහොසිවූ විට ඒවා පවරා ගැනීමේ නීතිමය ක්‍රම වේදයක් ඇතැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා විසින් පෙන්වා දෙනු ලැබුණ.

ආරක්ෂක හමුදාවලට ඒවා පවරා ගැනීමට බලයක් නොමැති බවටත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා තර්ක කළේය.

එහිදී රජයේ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් වගඋත්තර කරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩු විභාගය ලබන මස 23 වැනිදා දක්වා කල් දැමුවේය.

අදාළ පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස, යුද හමුදාපති, අම්පාර දිසා ලේකම්, සහ නීතිපතිවරයා නම් කොට තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.