එක්සත් ජාතීන්ගේ "නින්දා ලැයිස්තුවෙන්" ශ්‍රී ලංකාව ඉවතට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 12 අඟහරුවාදා - 13:36 GMT
A child soldier

යුද්ධයට ළමා සොල්දාදුවන් යොදා ගැනීම පිළිබඳව එල්ටීටීඊ සංවිධානය අපකීර්තියට පත් වී සිටියේය

යුද ගැටුම් වලට මැදිවූ ළමුන් පුනරුත්ථාපනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම ප්‍රගතිය හේතුවෙන් ලොව පුරා යුද්ධයට මැදිවූ දරුවන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අද (ජුනි 12 වැනිදා) ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ "නින්දා ලැයිස්තුවෙන්" මේ වසරේ ශ්‍රී ලංකාව ඉවත් කොට තිබේ.

විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය විසින් යුද්ධයට ළමා සොල්දාදුවන් යොදා ගැනීම හේතුවෙන් ළමුන් යුද ගැටුම්වලට යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව කලක් අපකීර්තියක් ඉසිලීය.

එවැනි ළමා සොල්දාදුවන් ගේ ඉරණම පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වී සිටීම පිළිබඳව තම ප්‍රසාදය පළ වී ඇතැයි පවසන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, එබැවින් ශ්‍රී ලංකාව මේ වසරේ "නින්දා ලැයිස්තුවෙන්" ඉවත් කොට ඇති බව ද සඳහන් කරයි.

ඒ කෙසේ වුවත් එල්ටීටීඊ ය විසින් බඳවාගන්නා ලද ළමුන් 7000 කට ආසන්න පිරිසෙන් 1400 දෙනෙකු සහ ටීඑම්වීපී යේ ජනාධිපති උපදේශක ඉනිය භාරතී ගේ පාර්ශවය විසින් බඳවාගත් ළමුන්ගෙන් පස්දෙනෙකු ද තවමත් අතුරුදහන්ව සිටින බව ද වාර්තාවේ දැක්වේ.

A group of former LTTE cadres in a rehabilitation camp

එල්ටීටීඊ ය බඳවාගත් ළමුන් 1400 දෙනෙකු සහ ජනාධිපති උපදේශක ඉනිය භාරතී ගේ ටීඑම්වීපී පාර්ශවය බඳවාගත් ළමුන්ගෙන් පස්දෙනෙකු තවමත් අතුරුදහන්

ළමා සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හි ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය "විශිෂ්ට" බව පවසමින් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදයට ලක්වීමෙන් අනතුරුවයි, යුද ගැටුම් වලට මැදිවූ ළමුන් සම්බන්ධ වාර්තාව ද නිකුත් වූයේ.

මෑතදී ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්, ගැටුම් පැවති කාලය පුරාවටම ශ්‍රී ලංකා ආණ්ඩුව ගැටුම් වලට මැදිවූ ප්‍රදේශවල දරුවන් පාසල් යැවීම සහ ඔවුන් ට එන්නත් ලබාදීම පිණිස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කළේය.

එමෙන්ම දරුවන් ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපයේ අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින බවද ඔහු පැවසීය.

මහ ලේකම් බැන්කි මූන් ද සඳහන් කොට ඇති පරිදි, යුද ගැටුම් වලට මැදිවූ දරුවන් යලි ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියක් යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව ඒකාබද්ධව දැනටමත් ක්‍රියාවට නගා තිබේ.

උතුරේ හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ ඇතැම් පාසල්වලින් ඉවත් වී ඇතත්, පාසල් 15 ක් තවමත් හමුදාව විසින් භාවිත කරමින් සෙවීම පිළිබඳව මහ ලේකම්වරයා මේ අතර සිය අවධානය පළ කොට තිබේ.

මේ අතර දරුවන් සඳහා අන්තරායකාරී රැකියා පනහකට වැඩි සංඛ්‍යාවක් ලේඛන ගත කොට තිබෙන ශ්‍රී ලංකාවේ ළමා රක්ෂණ අධිකාරිය, තොරතුරු එක රැස් කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇති හෙයින් ළමා ශ්‍රමිකයන් පිලිබඳ සංඛ්‍යාලේඛන නොමැති බව ද ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.