පාර්ලිමේන්තුවට දෙන ප්‍රතිඥා 'ආණ්ඩුව උල්ලංඝනය කරලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 12 අඟහරුවාදා - 17:19 GMT
Sri Lanka parliament

සාම්පූර් හි යලි පදිංචි වූ ජනතාවගේ ආහාර සහනාධාර කපා දමන බවට නිලධාරීන් තර්ජනය කලැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි

ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පාර්ලිමේන්තුවට ලබාදෙන බොහෝ ප්‍රතිඥා උල්ලංඝනය කොට තිබෙන බව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙක පවසයි.

විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ඇතැම් යෝජනා වලට ආණ්ඩු පක්ෂයේ සහාය ද ලබාදී පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව පවා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට කිසිදු උත්ස්සහයක් නොගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේය.

පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මත වීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කරමිනුයි, මන්ත්‍රී වරයා එම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂය නගන චෝදනාව අනුමත කළ දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුවේ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට ලබාදුන් ප්‍රතිඥා ඉතා ඉක්මනින්ම කඩ කළ අවස්ථා පිළිබඳව සවිස්තරව කරුණු දැක්වීය.

සාම්පූර්

"සම්පූර්ණයෙන්ම ඒක හොඳ යෝජනාවක් අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕනෙයි කියල කියල ඒත් දැන් වෙනතුරු මෙලෝ දෙයක් වෙලා නැහැ"

රවි කරුණානායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී

සාම්පූර් හි ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය අක්කර 500 කට ආසන්න ඉඩම් පමණක් පවරාගෙන ඉතිරි ඉඩම්වල සාම්පූර් වැසියන් පදිංචි කරවන බවට පසුගිය ඔක්තෝබර් 21 වෙනි දින ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රතිඥාවක් දුන් බව පෙන්වා දුන් එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා, ඉන් මාස දෙකක් ඇතුලත නිලධාරීන් පැමිණ යලි පදිංචිව සිටි ජනතාවට ඉන් ඉවත්වන මෙන් නියෝග කොට ඇති බව ප්‍රකාශ කළේය.

එසේ ඉවත් නොවුවහොත් ඔවුන්ගේ ආහාර සහනාධාර කපා දමන බවට නිලධාරීන් තර්ජනය කොට ඇති අතර, ඇමතිවරයාගේ ප්‍රතිඥාවට පටහැනිව යමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වෙනුවෙන් සාම්පූර්හි තවත් අක්කර 508 ක්පවරාගෙන තිබෙන බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායකමන්ත්‍රීවරයා කරුණු දක්වමින් තමන් විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 78 කින් අටක් විවාද කොට එයින් හතරකට ආණ්ඩුවේද අනුමැතිය පලවී සම්මත වූ බව පැවසීය.

යාපනයේ 'ඉඩම් කොල්ලයක්'

Sri Lanka army

ඉඩම් හමුදාවට පවරා ගන්නා බැවින් යලි සිය ඉඩම් වලට නොයන මෙන් හමුදාව යාපන වාසීන්ට තර්ජනය කොට ඇති බව මන්ත්‍රීවරයා පවසයි

"සම්පූර්ණයෙන්ම ඒක හොඳ යෝජනාවක් අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕනෙයි කියල කියල ඒත් දැන් වෙනතුරු මෙලෝ දෙයක් වෙලා නැහැ," ඔහු පැවසීය.

මේ අතර උතුරේ පවතින තත්වය පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ එම්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා, විශේෂයෙන්ම යාපනයේ ඇතැම් ප්‍රදේශවල ඉඩම් කොල්ලයක නිරතව සිටින බවට ශ්‍රී ලංකා හමුදාවට චෝදනාවක් එල්ල කළේය.

යාපන වාසීන්ගේ නිවෙස්වලට පැමිණ ඇති හමුදා නිලධාරීන් ඔවුන්ගේ ඉඩම් ඔප්පු ද රැගෙන හමුදා කඳවුරට එන මෙන් නියෝග කොට ඇති බවත්, එසේ පැමිණි පිරිස්ද රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එයින් සමහර ඉඩම් හමුදාවට පවරා ගන්නා බැවින් යලි සිය ඉඩම් වලට නොයන මෙන් තර්ජනය කොට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ සියල්ල මෙසේ සිදුවන්නේ, හමුදාව උතුරේ ආරක්ෂක කටයුතු වලට පමණක් සීමා කරන බවට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කරමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව බවද ඔහු පෙන්වා දුන්නේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.