භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් කිරීම 'බටහිර ගැති අදහසක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 1 සිකුරාදා - 15:33 GMT
Monks in Sri Lanka

බලය අයුතු ලෙස යොදා ගැනීමටද මන්ත්‍රී පදවි හොබවන භික්ෂූන් වහන්සේ පෙලැඹී සිටීම පිළිබඳව මන්ත්‍රීවරයා අනතුරු අඟවයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් කිරීමට යත්න දරන්නේ "බටහිරට පන්දම් අල්ලන" දේශපාලකයන් බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

එහිමියන් බීබීසී සංදේශයට ඒ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේ ඇතුළු පූජකවරුන් මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාව පිළිබඳව අදහස් පළ කරමින්.

විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ මෑතදී පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිවලට පත්වීම නිසා පූජ්‍ය පක්ෂය වෙත තිබෙන පූජනීයත්වය සහ ගෞරවය කෙලෙසී තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාද වන විජේදාස රාජපක්ෂ මන්ත්‍රී වරයා බීබීසී සංදේශයේ කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුට පැවසීය. එමෙන්ම වර්තමානයේ දේශපාලනයේ නිරතවී සිටින්නේ ජන සමාජයෙන් සහ සංඝ සමාජයෙන්ද කොන්වූ පිරිසක් බව ඔහුගේ මතයයි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ එම චෝදනාවද ප්‍රතික්ෂේප කරති.

'ශාසන පරිහානිය භික්ෂූන් නිසා'

"මේක ඉදිරියට මෙහෙම ගියොත් අනාගතයේදී විශාල ගැටුම් බවට, ආගමික යුද්ද බවට පත් වෙන්න පුළුවන්"

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ

"විජේදාස රාජපක්ෂ මහත්මයා ඒක මනින්නේ මොන මිම්මෙන්ද කියල මම අහන්න කැමතියි," එහිමියෝ ප්‍රශ්න කළහ.

කෙසේ වුවද යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ රටේ සුළු ජාතිකයන්ගේ ආගම්වලට එරෙහිව ස්වකීය දේශපාලන ශක්තිය පෙන්වමින් බලය අයුතු ලෙස යොදා ගැනීමටද මන්ත්‍රී පදවි හොබවන භික්ෂූන් වහන්සේ දැනටමත් පෙලැඹී සිටීම අනාගත ව්‍යසනයක් පිලිබඳ අනතුරු අඟවන්නක් බවයි.

"ඒක නිසා අන්‍යාගමික කණ්ඩායම් සමඟ නිතර ගැටුම් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මේක ඉදිරියට මෙහෙම ගියොත් අනාගතයේදී විශාල ගැටුම් බවට, ආගමික යුද්ද බවට පත් වෙන්න පුළුවන්," බවද ඔහු පැවසීය.

එම චෝදනාවටද ප්‍රතිචාරය පළ කරන මේධානන්ද හිමියන් එවැනි ගැටුම් ඇති කිරීම පිලිබඳව "අන්‍යාගමිකයන්ට" චෝදනා කරන අතර, බෞද්ධයන් වෙසෙන ප්‍රදේශවලට ගොස් "අන්‍යාගමිකයන් බෞද්ධයන් බිලිගන්නා වැඩපිළිවෙල" ක්‍රියාත්මක කරද්දී භික්ෂූන් වහන්සේට නිහඬව බලා සිටිය හැකි දැයිද උන් වහන්සේ ප්‍රශ්න කරති.

"ඇත්තටම අපේ රටේ බුද්ධාගමට අනතුර වෙලා තියෙන්නේ අන්‍යාගමිකයන් ගෙන් නෙවෙයි," බව පවසන විජේදාස රාජපක්ෂ මන්ත්‍රී වරයා, එම තර්ජනය එල්ලවී තිබෙන්නේ ඇතැම් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගෙන් බවද සඳහන් කරයි.

"උන් වහන්සේලා බුද්ධ ශාසනයට කරපු පරිහානිය අන්‍යාගමිකයන් ගෙන් අපිට එහෙම සිද්ද වෙලා තියෙන බවක් පෙනෙනෙන්නට නැති," බවද ජනාධිපති නීතිඥ මන්ත්‍රී වරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.