පළාත් සභා අහෝසි කරන්නැයි ජනාධිපති ගෙන් ඉල්ලීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 13 ඉරිදා - 17:35 GMT
ශ්‍රී ලංකාවේ පළාත් සභා 1997 දී ගෙන එනු ලැබුවේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ

ජාතීන් ගේ පදනමින් බලය බෙදා හැරීම ට ශ්‍රී ලංකාවේ වෘත්තීය වේදීන් ගේ සංවිධානයක් විරෝධය පලකොට තිබේ.

විද්වත් වෘත්තික සංගම් ශ්‍රී ලංකා සංවිධානය විසින් ජනාධිපති වරයා වෙත යවා තිබෙන යෝජනාවකින් ඉල්ලා ඇත්තේ පළාත් සභා අහෝසි කරන ලෙසයි.

එම සංගමය ප්‍රකාශ කරන පරිදි පළාත් සභා හඳුන්වා දෙනු ලැබූ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ දැනුවත් කමකින් තොරව.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙසින් බලය බෙදීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකාවේ පළාත් සභා 1997 දී ගෙන එනු ලැබුවේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ සම්මත කැරුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්.

විද්වත් වෘත්තික සංගම් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති තිලිණ කිරින්ගොඩ එය හැඳින්වූයේ, "රටේ කාටවත් උවමනා නැති වෙලාවක ඉන්දියාවේ බලපෑමට බලහත් කාරයෙන් පටවනු ලැබූ," යෝජනාවක් ලෙසයි.

එම සංවිධානය පවසන පරිදි පළාත් සභා විශාල මුදල් නාස්තියක් වන අතර දේශපාලන අස්ථාවර භාවයට මග පාදා තිබේ.

සභාපති කිරින්ගොඩ බී බී සී සංදේශයට කියා සිටියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ තවත් ගැටළු ගණනාවක ට මග පාදා ඇති බවයි.

" රටේ කාටවත් උවමනා නැති වෙලාවක ඉන්දියාවේ බලපෑමට බලහත් කාරයෙන් පටවනු ලැබූ යෝජනාවක් "

විද්වත් වෘත්තික සංගම් ශ්‍රී ලංකා සංවිධානය

ආරම්භයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ බොහොමයක් ඊට විරෝධය පෑවද මේ වන විට සියලුම පක්ෂ පාහේ පළාත් සභා නියෝජනයේ යෙදී සිටී.

උතුරු නැගෙනහිරදී ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පෑ එල් ටී ටී ඊ සංවිධානය ඉන්දීය හමුදා සමග සටන් වැදුනි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ නැගුනු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බලය බෙදීමට එරෙහිව දකුණේ දී නිරත වූ සන්නද්ධ අරගලය මර්දනය කැරුනේ දස දහස් සංඛ්‍යාත ඝාතන හා අතුරුදහන් කිරීම් සමගින්.

ජනාධිපති වරයා විසින් පත් කැරුණු උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම (LLRC) විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස නිර්දේශ කොට තිබේ.

මාර්තුවේ දී ජිනීවාහි මුළු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය (UNHRC) බහුතර ඡන්දයෙන් සම්මත කොට ගත් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවෙන් කියැවුනේ ද ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි.

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.