ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන 'මිශ්‍ර චිත්‍රයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 1 අඟහරුවාදා - 14:04 GMT
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්

අදහස් ප්‍රකාශකිරීමේ නිදහසට ඉඩ ඇහිරී ඇති බවද වාර්තාව ප්‍රකාශ කරයි

ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ චිත්‍රය මිශ්‍ර ස්වරූපයක් උසුලන බව බ්‍රිතාන්‍ය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

පශ්චාත් යුද වකවානුව තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එල්ටීටීඊ කැරලිකරුවන් යලි සමාජ ගත කිරීමේ කටයුතු යම් ප්‍රමාණයකට සාර්ථක කරගැනීමට සමත්වී ඇති බව ප්‍රකාශ කරන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව, කෙසේ වුවද මානව හිමිකම් කටයුතු පිළිබඳව ආයතනගතව සිදුවන බාධාවන් සවිස්තරව සඳහන් කොට තිබේ.

විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් ලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිසිදු චෝදනාවක් ගොනුකිරීමෙන් තොරව තවමත් අත්අඩංගුවේ පසුවන බවයි, එහි සඳහන් වෙන්නේ.

මේ අය අතරින් සමහර අයට සිරභාරයේදී වධ හිංසා පමුණුවා ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව තිබෙන බවත්, පුද්ගලයන් අතුරුදහන්වීම සිදුවන අතරවාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඉඩ ඇහිරී ඇති බවද වාර්තාව ප්‍රකාශ කරයි.

යුද අපරාධ චෝදනාවලට ලක්වී ඇති පුද්ගලයන් නීතිය ඉදිරියට කැඳවීමට කටයුතු කිරීම මෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා කටයුතු කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම බවද බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

යුක්තිය පසිඳලීම

රටපුරා මානව හිමිකම් තත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය, ආයතන ගණනාවක් සමඟම සාකච්ඡා පවත්වන අතර, එහි නිලධාරීන් රට පුරාම සංචාරය කරන බවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය නගා සිටුවීම සඳහා ආධාර කිරීම තම අරමුණ බවයි, වාර්තාවේ සඳහන් වෙන්නේ.

2011 වසරේදී මාධ්‍යවේදීන් මරා දැමීමේ සිද්ධීන් වාර්තා නොවූවත්, දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිදහස පිළිබඳ නාමාවලියේ ස්ථාන පහකින් ශ්‍රී ලංකාව පහල වැටුණු බව පෙන්වාදෙන වාර්තාව, මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, බලපෑම් කිරීම මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සිදුවන අදහස් ප්‍රකාශ කිරීමේ උද්ඝෝෂණ පොලිස් බලය යොදා මර්දනය කිරීම පිළිබඳවද බරපතල අවධානය යොමුකොට තිබේ.

හොඳින් වර්ධනයවූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් රට තුල ඇතත්, එය ක්‍රියාත්මක වීමේදී බාධා පැමිණෙන බවද එහි සඳහන් වේ.

එහෙත් එම වාර්තාව ගැන ප්‍රතිචාරය පලකරන ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කිරීමට බ්‍රිතාන්‍යයට අයිතියක් නැති බවයි.

විශේෂයෙන්ම දශක ගණනාවක යුද්ධයකින් අනතුරුව තවමත් ගතව ගොස් ඇත්තේ වසර තුනක් පමණක් බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.