ශ්‍රී ලංකා යුද බිමෙන් 'පොකුරු බෝම්බ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 27 සිකුරාදා - 10:57 GMT
පොකුරු බෝම්බ

යුද්ධයේදී පොකුරු බෝම්බ යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ

පුපුරා නොගිය පොකුරු බෝම්බ ශ්‍රී ලංකා යුද බිමෙන් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් පවසයි.

පසුගිය මාසයේදී පිපිරීමකින් දරුවෙකු මියගිය ස්ථානය ආසන්නයේ තිබී පුපුරා නොගිය පොකුරු බෝම්බවල කොටස් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ ඇලන් පොස්ටන් ඊමේල් පණිවුඩයක් මඟින් පවසයි.

කෙසේ වුවද පොකුරු බෝම්බ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ.

2010 අගෝස්තු මාසයේ සිට බල පැවැත්වෙන ජාත්‍යන්තර සම්මුතියකට අනුව පොකුරු බෝම්බ යොදාගැනීම තහනම්කොට තිබෙන නමුත්, ශ්‍රී ලංකාව, චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම සම්මුතියට අත්සන් තබා නැත.

නිසි පරිදි යොදා ගන්නේනම් පොකුරු බෝම්බ නීත්‍යානුකුල යුද අවියක් බව එක්සත් ජනපදයේ තර්කයයි.

'ප්‍රථම සාක්ෂිය'

ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ භාවිත කළ බව‍ට යුද්ධය අවසානවීමෙන් අනතුරුව බොහෝ සාමාන්‍ය වැසියන්ගෙන් චෝදනා එල්ල වූ බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, කෙසේ වුවද එම චෝදනා සනාථ කෙරෙන ආකාරයේ සාක්ෂි හමුවූ ප්‍රථම වතාව මෙය බවත් පෙන්වා දෙයි.

පොකුරු බෝම්බ හමුවූ බව පවසමින් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක ඇලන් පොස්ටන් විසින් යවන ලද ඊමේල් පණිවුඩයේ පිටපතක් තමන්ට ලැබී ඇති බවයි, ඒපී පුවත් සේවය ඊයේ කියාසිටියේ.

උතුරු ශ්‍රී ලංකාවේ පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී පුපුරා නොගිය කුඩා බෝම්බ හමු වූ බව එම පණිවුඩයේ සඳහන්වේ.

පොකුරු බෝම්බ ප්‍රහාරයකදී විශාල ප්‍රදේශයක් පුරා කුඩා බෝම්බ විසිර යන අතර, පිපිරී නොගිය එවැනි බෝම්බ මඟින් වසර ගණනාවකට පසුවද සාමාන්‍ය වැසියන් මරුමුවට පත්වීමේ හෝ අතපය අහිමිවීමේ අවදානමක් පවතී.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී, 2009 වර්ෂයේදී, දස දහස් ගණන් සාමාන්‍ය ජනතාව යුද්ධයට කොටුවී මියයන්නට ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

එහෙත් "පොකුරු බෝම්බ ගණයට වැටෙන කිසිම බෝම්බයක් යොදා නොගත්" බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.