ශ්‍රිනිවාසන් පත් කිරීම 'බැඳියාවන් අතර ගැටීමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 9 සිකුරාදා - 13:31 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දූෂණ චෝදනා ලබා සිටින ඉන්දීය පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන් ශ්‍රීනිවාසන් ජගත් පාලක මණ්ඩලයේ සභාපති පදවියට නම් කිරීම 'බැඳියාවන් අතර ගැටීමක්' බව විස්ඩන් කතුවරයා පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දූෂණ චෝදනා ලබා සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන් ශ්‍රීනිවාසන් ජගත් පාලක මණ්ඩලයේ සභාපති පදවියට නම් කිරීම 'බැඳියාවන් අතර ගැටීමක්' බව විස්ඩන් කතුවරයා පවසයි.

ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපරිම බලතල පවරා දෙමින් අයිසීසීය පසුගියදා සම්මත කළ සංශෝධනද විස්ඩන් සඟරාවේ කතුවර ලෝරන්ස් බූත්ගේ දැඩි විවේචනයට ලක් වෙයි.

'අන්තිමට ඉන්දියාවට අභියෝග කරන්න කවුරුවත් ඉතිරිවෙලා නෑ'

ක්‍රිකට් සම්බන්ධ ලොව ප්‍රධානම ප්‍රකාශනය ලෙසින් සැලකෙන විස්ඩන් සඟරාවේ කතුවරයා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

"ලබන ජූලි මාසේ අයිසීසීයේ සභාපති පදවියට පත් වෙන්න ඉන්න ශ්‍රිනිවාසන් මහත්තයා ලෝකේ ක්‍රිකට් කීඩාව පාලනය කළ යුතුයි කියල මම හිතන්නේ නෑ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

එන් ශ්‍රිනිවාසන් තවමත් කිසිදු චෝදනාවකට වැරදිකරු වී නැහැ නොවේද යන්න සංදේශය විස්ඩන් කතුවරයාට යොමු කළ ප්‍රශ්නයක්.

"ඇත්තෙන්ම නැහැ. නමුත් ඔහුගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න මතුවෙලා තියෙනවා," යන්න එම ප්‍රශ්නයට ලෝරන්ස් බූත්ගේ ප්‍රතිචාරයයි.

'විකල්පයක් නෑ'

"අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීම් ගැන පරීක්ෂණ අවසාන වන තුරු, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් තාවකාලිකව ඉවත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනව. ඔට්ටු අල්ලන්නන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා පිළිබඳව ඔහුගේ බෑනාගෙන් පොලිසිය ප්‍රශ්න කරලා තියෙනවා."

'ශ්‍රිනිවාසන් මහත්තයා ලෝකේ ක්‍රිකට් කීඩාව පාලනය කළ යුතුයි කියල මම හිතන්නේ නෑ'

"මේ සියලු දේවලින් ගම්‍ය වෙන්නේ ශ්‍රිනිවාසන් මහත්තයාගේ ක්‍රියාකාරකම් අතර පැහැදිලි බැඳියාවන් අතර ගැටීමක් තිබෙන බව."

අයිසීසීය පසුගියදා සම්මත කළ සංශෝධනවලට මුලින් විරෝධය පළ කළ බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව පසුව එයට සහාය දීම පිළිබඳව අදහස් දක්වන විස්ඩන් කතුවරයා පවසන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ඒ අවස්ථාවේ විකල්පයක් නොතිබූ බවයි.

කෙසේ නමුත් එහිදී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට මීට වඩා දැඩි ස්ථාවරයක් ගත හැකිව තිබුණු බව ලෝරන්ස් බූත්ගේ අදහසයි.

"එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව දන්නවා ඉන්දියාව පරද්දන්න බැරි බව. ඒ නිසයි ඔවුන් මේ වගේ උපායශීලී තීරණයක් ගත්තේ. ඉන්දියාව තමන්ගෙන් ඉවත් වෙනවා දකින්න කැමති නැති නිසා මේ වගේ තීරණයක් ගත්ත කියලයි ඔවුන් කියන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"නමුත් දැන් අන්තිමට වෙලා තියෙන්නේ ඉන්දියාවට අභියෝග කරන්න කවුරුවත් ඉතිරිවෙලා නැති එක."

දූෂණ චෝදනා එල්ල වී තිබෙන එන් ශ්‍රිනිවාසන්ලබන ජුලි මාසයේදී සභාපති පදවිය භාරගැනීම පිළිබඳව සංදේශය කළ විමසීමකදී ජගත් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සමි උල් හසන් කියා සිටියේ, එය ඉන්දීය අධිකරණයට භාර ප්‍රශනයක් බැවින් තමන්ට ඒ පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බවයි.

ක්‍රීඩාව පුරා දූෂණය සහ වංචාව පැතිර යමින් තිබෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බව ජගත් පාලක මණ්ඩලය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.