පන්දු යවන්නන්ටත් නායකයෝ වෙන්න පුළුවන් - මාලිංග

  • 7 අප්‍රේල් 2014
'මම හිතනවා වේග පන්දු යවන්නන්ට මම සාධාරණයක් කළා කියලා'

වේග පන්දු යවන්නෙකුට දක්ෂ නායකයකු විය නොහැකි බවට පවතින මතය තමන් වෙනස් කළ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කරයි.

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථම වතාවට සිය නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවයක් දිනා ගත හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බවද ලසිත් මාලිංග විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව බංග්ලාදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේය.

"මතයක් තිබ්බ වේග පන්දු යවන්නන්ට නායකත්වය දරන්න බැහැ කියලා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"මම හිතනවා වේග පන්දු යවන්නන්ට මම සාධාරණයක් කළා කියලා. වේග පන්දු යවන්නන්ට කඩුළු දවා ගන්න පුලුවන් නම් ඕනෑම දෙයක් කරන්න බුද්ධිය ඔවුන්ට තියෙනවා කියල පෙන්නල දීල."

ඉම්රාන් ඛාන්, වසීක් අක්‍රම් සහ කපිල් දෙව් වැනි පන්දු යවන්නන්ට නායකත්වය හිමි වූවත්, සමස්තයක් ලෙස පන්දු යවන්නන්ට ජාතික කණ්ඩායමක නායකත්වය හිමි වීම දුර්ලභ බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

චමින්ද වාස්

විශේෂයෙන්ම තමන් දක්ෂතා දැක්වූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි නොවීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වේග පන්දු යවන්නකු ලෙස සැලකෙන චමින්ද වාස් මීට කලෙකට පෙර බීබීසී සංදේශයට කියා සිටියේය.

'නායකත්වය හිමි නොවීම කනගාටුවට කරුණක්'

මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර වැනි විශිෂ්ට නායකයන් බිහි වූයේ ඔවුන්ට පෙර ක්‍රීඩා කළ අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න සහ සනත් ජයසූරිය වැනි නායකයන් නිසා බව පැවසූ ලසිත් මාලිංග මෙවැනි විශිෂ්ට නායකයන් යටතේ ක්‍රීඩා කර ලැබූ අත්දැකීම් තමන්ටද පිටුවහලක් වූ බව කියා සිටියේය.

"අත්දැකීම් බහුල, ලෝක කුසලාන තරඟවලට සහභාගිවුණු හිටපු නායකයන් හතරක්, පහක් කණ්ඩායමේ සිටීම අපිට ලොකු ශක්තියක් වුනා," බවයි, ලසිත් මාලිංග පවසන්නේ.

"මම නායකත්වයට පත්වුනාට පසු මම හිතුවා ඒ හැමකෙනාගේම උදවු මම ලබාගන්න ඕනේ කියලා, මම හිතනවා මම ඒ දේ සාර්ථකව කළා කියලා."

ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් තමන් සමග වසර දහයක් පමණ ක්‍රීඩා කොට ඇති නිසා ඔවුන්ගේ දක්ෂතා හා ඔවුන්ට කළ හැකි දේ පිළිබඳව තමන් හොඳින් දන්නා බව පවසන ලසිත් මාලිංග එම නිසා නායකත්වයේ කාර්යභාරය පහසු වූ බවද පැවසීය.

තම කණ්ඩායම ජය ගත්තේ වාසනාව නිසා නොව තමන් පෙන්වූ දක්ෂතා නිසා බව ලසිත් මාලිංග අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර