'බිග් මැච්වලට සල්ලි, දෘශ්‍යාබාධිත කණ්ඩායමට නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 11 අඟහරුවාදා - 17:26 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

'බිග් මැච්' වලට බොහෝ උනන්දුවෙන් අනුග්‍රහය දක්වන ලාංකීය ව්‍යාපාරිකයන් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක් වන බව ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පාසල් 'බිග් මැච්' ක්‍රිකට් තරගවලට බොහෝ උනන්දුවෙන් අනුග්‍රහය දක්වන ලාංකීය ව්‍යාපාරිකයන් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශ කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමන්ට කිසිදු මූල්‍යාධාරයක් නොලැබෙන බවද දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ චමින්ද පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය.

'දකුණු අප්‍රිකානු සංචාරය තවම අවිනිශ්චිත මට්ටමක තියෙන්නේ. මුදල් ගැටලුව දැඩිව තියෙනවා'

මේ තත්වය යටතේ ලබන අප්‍රේල් මාසයේ දිවයිනට ලඟා වීමට නියමිත ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පහසුකම් සැපයීමේ අර්බුදයකට මුහුණ දී සිටින ඔහු පවසන්නේ.

"අපේ ක්‍රීඩකයන්ට ගමන් ගාස්තුවත් දීගන්න බැහැ. කෑම වේලත් බොහොම අමාරුවෙන් දරාගෙන තමයි මොකද මුදල්මය වශයෙන් අපි ඉතාමත් අන්ත අසරණ තත්වයට පත් වෙලා ඉන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

'පන්සලේ ඉන්න පුළුවන්'

විහාරස්ථානයක හෝ ලැගුම් ගෙන සිය කණ්ඩායමට තරඟවලට සහභාගි විය හැකි නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නිසි ආගන්තුක සත්කාර දැක්වීම සිය යුතුකම බවයි චමින්ද පුෂ්පකුමාර සංදේශයට කියා සිටියේ.

"අපි විදේශ සංචාරයක නිරත වෙද්දී ඉහලම හොටෙල්, පහසුකම් ලබා දීල සියලුම සත්කාර කරනවා. අපිත් අපේ පැත්තෙන් කළ යුතුයි ඔවුන්ට ඒ වගේ සත්කාර."

ලබන නොවැම්බරයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් සූදානම් වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කිරීමේ අරමුණ බව පවසන ඔහු, ලෝක කුසලානයට සහභාගි වීම බොහෝ දුරට තම කණ්ඩායමට සිහිනයක් පමණක් විය හැකි බවද සඳහන් කළේය.

"දකුණු අප්‍රිකානු සංචාරය තවම අවිනිශ්චිත මට්ටමක තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මුදල් ගැටලුව දැඩිව තියෙනවා," බවයි, ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි ආයතනයක් නොවීම හේතුවෙන් ඔවුන්ට මූල්‍යාධාර ලබා දීම අපහසු බව බලධාරීන් ඉදිරිපත් කරන තර්කයයි.

ජාත්‍යන්තර පැරා ඔලිම්පික් සම්මේලනය යටතේ පාලනය වන ශ්‍රී ලංකාවේ ආබාධිතවූවන්ගේ ජාතික සම්මේලනය අක්‍රීය තත්වයක පැවතීම මේ තත්වයට ප්‍රධාන හේතුව බවද චමින්ද පුෂ්පකුමාර සඳහන් කළේය.

දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.