චමනි සෙනවිරත්න විශ්‍රාම ගියේ 'කලකිරීමෙන්'

20 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:18 GMT

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනකු කණ්ඩායමෙන් ඉවත් කළා නොව සිය කැමැත්තෙන් විශ්‍රාම ගිය බව කාන්තා තේරීම් කමිටුවේ සභාපතිවරයා පවසයි.

එහෙත් හිටපු නායිකා චමනි සෙනවිරත්න විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කළේ ඉන්දීය සංචාරය වෙනුවෙන් පුහුණු සංචිතයට තෝරා ගත් කණ්ඩායමට තමන් ඇතුලත්ව නැති බව අනාවරණය වීමෙන් අනතුරුව බව කණ්ඩායමේ ආරංචි මාර්ග සංදේශයට තහවුරු කළේය.

චමනි සෙනවිරත්න පසුගිය වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය

ඉන්දීය සංචාරය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් 28 වැනි දින තේරීම් කමිටුව විසින් නම් කරන ලද සංචිතයට චමනි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා සඳමාලි දොලවත්ත නම් කොට නැති බව සංදේශයට අනාවරණය විය.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනා විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේ පුහුණු සංචිතය නම් කිරීමට පෙර බව තේරීම් කමිටු සභාපති ජයන්ත අමරසිංහ සංදේශයට කියා සිටියේය.

චමනි සෙනවිරත්න, පසුගිය වසරේ හොඳම එක් දින ක්‍රීඩිකාව ඇතුළු සම්මාන ගණනාවක් දිනූ, තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්.

'මන්දගාමීයි'

තිස් පස් හැවිරිදි චමනි විශේෂයෙන්ම විස්සයි විස්ස ක්ෂේත්‍රයේදී කිසියම් මන්දගාමී බවක් පෙන්නුම් කිරීම නිසා ඇය ඉවත් කිරීමට සිදු වන බව දැනුම් දුන් නමුත් අනෙක් තරඟ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තෝරා ගැනීමේ හැකියාවක් තිබුණු බවයි, තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.

කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්ව සිටින ජීවන්ත කුලතුංග ගේ ක්‍රියා කලාපයද දැඩි විවේචනයට ලක් වී තිබේ.

නව පදවියට පත් වීමෙන් අනතුරුව කණ්ඩායමේ විනය සහ සමගිය බිඳීමට උත්සාහ කරන බවටත්, ඔහුගේ ක්‍රියාකලාපය විවේචනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට උත්සාහ දරන බවටත් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. එවැන්නක් පිළිබඳව තමන් නොදන්නා බවයි, තේරීම් කමිටු සභාපති ජයන්ත අමරසිංහ පවසන්නේ.

මේ අතර විසාකාපට්නම්හිදී ඉන්දීය පිලට එරෙහිව ඉරිදා පැවති පළමු එක් දින තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතක අන්ත පරාජයක් අත් විය.