බැඩ්මින්ටන් පාලක මණ්ඩලය 'ඡන්ද වංචාවක'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 13 සඳුදා - 17:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ වාර්ෂික මැතිවරණයේදී තමන්ට හිමි ඡන්ද ප්‍රමාණය අහිමි කිරීමට උත්සාහ කරන බවට උතුරු නැගෙනහිර බැඩ්මින්ටන් සංගම් චෝදනා කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ වාර්ෂික මැතිවරණයේදී තමන්ට හිමි ඡන්ද ප්‍රමාණය අහිමි කිරීමට උත්සාහ කරන බවට උතුරු නැගෙනහිර බැඩ්මින්ටන් සංගම් චෝදනා කරති.

පසුගිය දහ වැනි දිනට පෙර මේ වසරට අදාල සාමාජික ගාස්තු ගෙවන මෙන් තමන්ට පාලක මණ්ඩලයෙන් දැන්වීමක් ලැබුන බව නැගෙනහිර පළාතේ බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන ලේකම් මලියාර් ෆයිසර් බීබීසී සංදේශයට කියා සිටියේය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට බැඩ්මින්ටන් පාලක මණ්ඩලයට චෝදනා

එහෙත් අදාළ සාමාජික මුදල ගෙවීම පිණිස පාලක මණ්ඩලයට ගිය අවස්ථාවේ සිය සාමාජිකත්වයට අදාළ ගාස්තුව භාර ගැනීම පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසයි.

බැඩ්මින්ටන් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව, ක්‍රීඩා සමාජ 25 ක් දක්වා තිබෙන පළාත් සම්මේලනවලට මැතිවරණයේ දී ඡන්ද තුනක් හිමි වන අතර, ඒ සඳහා සාමාජික ගාස්තුව රුපියල් 250 ක්.

ක්‍රීඩා සමාජ 26-49 දක්වා සාමාජික ගාස්තුව රුපියල් 500 ක් වන අතර, එවැනි සම්මේලනවලට ඡන්ද හතරක් හිමි වෙද්දී, ක්‍රීඩා සමාජ 50 කට වැඩි නම් ඡන්ද පහක් හිමි වේ. එවැනි ක්‍රීඩා සම්මේලන රුපියල් දහසක වාර්ෂික සාමාජික මුදලක් ගෙවිය යුතුය.

'බොරු ප්‍රචාර'

බැඩ්මින්ටන් සමාජ 64 ක් සිය සංගමය යටතේ පවතින බව සඳහන් කරන මලියාර් ෆයිසර්, එයින් 52 කට ඡන්ද බලය හිමි බව පවසයි. එහෙත් රුපියල් දහසක සාමාජික මුදල භාර ගැනීම බැඩ්මින්ටන් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි, මලියාර් ෆයිසර් පවසන්නේ.

"අපි කොච්චර ප්‍රශ්න ඇතුළෙද මේවා ඔක්කොම කරන්නේ? කොළඹ ඉඳල අර සීට් එකේ ඉඳල කියනවා හොර වැඩ, බොරු වැඩ කියල"

උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන ලේකම් සීජී මුරලිදරන්

පාලක මණ්ඩලයට එල්ල වන එම චෝදනාව අනුමත කරන උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන ලේකම් සීජී මුරලිදරන්, පාලක මණ්ඩලය අදාළ සාමාජික මුදල භාර ගත් නමුත් පසුව එය ප්‍රතික්ෂේප කළ බව සංදේශයට පැවසීය.

කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැඩ්මින්ටන් පාලක මණ්ඩලයේ සභාපති සුරාජ් දන්දෙණිය, උතුරු සහ නැගෙනහිර පළාත් වෙනුවෙන් ලබා දිය හැක්කේ ආරම්භයේදී ලබා දිය හැක්කේ ඡන්ද තුනක් පමණක් බව අවධාරණය කරයි.

උතුරු නැගෙනහිර ප්‍රධාන පෙළේ බැඩ්මින්ටන් තරඟාවලි නොපැවැත්වෙන බව සංදේශයට කියා සිටි සභාපතිවරයා, මැතිවරණය අරමුණු කොට 'බොරු ප්‍රචාර' දියත් කොට ඇති බවට පළාත් බැඩ්මින්ටන් සංගම්වලට චෝදනා කරයි.

එහෙත් දශක ගණනාවක් යුද්ධයෙන් බැට කෑ පළාත්වල ක්‍රීඩාව දියුණු කිරීමට තමන් අරගලයක නිරතව සිටින බවයි, සීජී මුරලිදරන් ප්‍රකාශ කරන්නේ.

"අපි කොච්චර ප්‍රශ්න ඇතුළෙද මේවා ඔක්කොම කරන්නේ? ඒ විදියට අපි මෙහෙ ඉඳල කරනවා. කොළඹ ඉඳල අර සීට් එකේ ඉඳල කියනවා හොර වැඩ, බොරු වැඩ කියල," යනුවෙන්ද ඔහු පැවසීය.

ගිය වසරේ පැවති පාලක මණ්ඩල නිලවරණය වර්ජනය කළ සිය සංගම්, එයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් පියවර ගැනීමට බලධාරීන් මෙතෙක් අපොහොසත්ව ඇති බවද උතුරු නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් බලධාරීහු සංදේශයට කියා සිටියහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.