දිනුවත්, පැරදුනත් හසරැල්ල නොමැකෙන නුවන් කුලසේකර

29 දෙසැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:41 GMT

දිනුවත්, පැරදුනත් මුවඟ හසරැල්ල නොමැකෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සමඟ බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් කළ දීර්ඝ සංවාදයක සටහන.

ප්‍රශ්නය: සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් රන්පොකුනගමෙන් ලබාගත් ආරම්භයෙන් තමයි අද ඔබ මෙවන් ස්ථානයකට පැමිණ තිබෙන්නේ. මතකය අවදි කළොත් ක්‍රිකට් ක්‍රීඩාවට මුලින්ම ආසාවක් ඇතිවූ කාලය ගැන?

නුවන්: පොඩි කාලේ ඉඳන්ම මම හුඟක් ටෙනිස් බෝල් ක්‍රීඩා කරල ඇත්තටම ගමෙන් තමයි ක්‍රීඩාවට යොමු වුණේ රන්පොකුනගමෙන්. නිට්ටඹුව ප්‍රදේශයේ තියෙන්නේ. ආසාවෙන් උනන්දුවෙන් ක්‍රීඩා කළා. ඒ වගේම පොඩි කාලේ හුඟක් තරඟ බැලුව. අර්ජුන, හෂාන්, රොෂාන් මහානාම, වාස් ... ඒගොල්ලෝ ගහන කාලේ මම ගොඩක් ක්‍රිකට් බැලුව.

"ඇත්තම කියනවනම් අවුරුදු දෙකක් විතර 'වෝටර් බෝයි' වැඩේ තමයි කළේ"

ප්‍රශ්නය: පාසල් අවදියේ ඔබ එතරම් හාඩ් බෝල් ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් පාසලෙන් පසු ඔබ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එක්වෙනවා. ඉන් පස්සේ ගාල්ල ක්‍රීඩා සමාජය. ලසිත් මාලිංගත් ඔබට හමුවන්නේ එතනදි. ඒ අවස්ථාවේද ඔබ ක්‍රිකට් ජීවිකාවක් කර ගන්න තීරණයට එන්නේ?

නුවන්: ඔව්. නුගේගොඩට සම්බන්ධ වෙන්නේ ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලෙන් හර්ඩ් බෝල් ගහන්න පටන් ගත්තට පස්සේ. මම නුගේගොඩට ක්‍රීඩා කරද්දී ගොඩක් දේවල් ඉගෙනගත්ත. අවුරුදු හතරක් නුගේගොඩ ක්‍රීඩා කළා. ඇත්තම කියනවනම් අවුරුදු දෙකක් විතර 'වෝටර් බෝයි' වැඩේ තමයි කළේ. හොඳට අත් දැකීම් ගත්ත. අවුරුදු 23 න් පහල තරගාවලිය හොඳට කළා. එතෙන්දි චම්පක රාමනායක මහතා හා අනුෂ සමරනායක මහතා මට ගාලු ක්‍රීඩා සමාජයට එන්න කිව්වා. එතෙන්දි තමයි මගේ ක්‍රිකට් දිවිය වෙනස් වුනේ.

'ටර්නින් පොයින්ට්'

ප්‍රශ්නය: ඔබ පුවත් පතකට කියල තිබුන ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ ඒ මාර්ගයෙන් රැකියාවක් ලබාගෙන පවුල රැක බලා ගෙන ජීවත් වෙන්න කියල. ඒ අවස්ථාවේ ඇත්තටම හිතුනේ නැද්ද කවද හරි මේ වගේ රටම ආදරය කරන සුපිරි තරුවක් වෙන්න පුළුවන් වේවි කියල?

නුවන්: කවදාවත් හිතුවේ නැහැ මට මේ තත්වයට එන්න පුළුවන් වේවි කියල. මම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩාව පටන් ගත්තේ 19 න් පහල. පොඩි කාලේ ලෙදර් පන්දුවෙන් ජූනියර් ක්‍රිකට් ගහල තිබුනේ නැහැ. මම හිතුව මම හොඳට ක්‍රිකට් ගැහුවොත් හොඳ ජොබ් එකක් හොයා ගෙන පවුල රැක බලා ගෙන ජිවත්වෙන්න පුළුවන් වේවි කියල. මම හිතුවේ නැහැ මෙච්චර දුර එන්ඩ පුළුවන් වේවි කියල.

ප්‍රශ්නය: 2002/03 තරඟ වාරයේ දේශීය තරඟ බිමේ ඔබ හොඳම පන්දු යවන්නා වෙනවා. එතනින් තමයි මේ සියල්ල ආරම්භ වෙන්නේ?

'මමයි, ලසිත් මාලිංගයි එකට තමයි ආවේ'

නුවන්: මම හිතන්නේ මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වුනේ එතැන. මම ගහපු පළමු සරා ප්‍රිමිය එකේ මම අවුරුද්දේ හොඳම පන්දු යවන්න වෙනවා. ඒක තමයි මගේ ක්‍රිකට් දිවියේ 'ටර්නින් පොයින්ට්' එක කිව්වොත් නිවැරදියි.

ප්‍රශ්නය: ඔබ 2003 වර්ෂයේ එංගලන්තය සමග පැවති තරගයකදී එක් දින වරම් ලබනවා. 2005 දී ටෙස්ට් වරම් ලබනවා. නුවන් ඔබ එක් දින කණ්ඩායමට තෝර ගෙන; නුවන් ඔබ ටෙස්ට් කණ්ඩායමට තෝර ගෙන. මේ පණිවිඩ ලැබෙද්දී මොකක්ද හිතුනේ?

නුවන්: ඇත්තට ගොඩක් සතුටු වුනා. ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්, වාසනාවක්. මම හිතුව මම කරපු කැප කිරීම් එක්ක මට එතනට එන්න පුළුවන් වේවි කියල. මමයි, ලසිත් මාලිංගයි එකට තමයි ආවේ. මාව එක් දින සංචිතයට තොරගත්තම මම ගොඩක් සතුටු වුනා. ඒ කාලේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මට හොඳ සහයක් ලබා දුන්නා. 'මල්ලි වැඩිය හිතන්න එපා, ක්‍රීඩා සමාජ තරඟ වගේ සෙල්ලම් කරන්න' කියල කිවුව.

ලොව දක්ෂතම පන්දු යවන්නා

ප්‍රශ්නය: නුවන් කුලසේකරගේ නම ප්‍රථම වරට ටෙස්ට් ක්‍රීඩාවේ ඉදිරියට එන්නේ, පිතිකරුවෙක් විදිහට. ඒ 2006 වසරේ අංක 10 ක්‍රීඩා කරමින් ලෝඩ්ස් පිටියේ අර්ධ ශතකකයක් ලබා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම?

නුවන්: ඒක කියල නිම කරන්න බැහැ. අපි කොහොම හරි දවස් තුන හමාරක් විතර පන්දුවට පහර දුන්න ඒ තරඟය බේරගන්න. පලවෙනි ඉනිමේ 190 කට විතර අපි දැවී ගියාම අපේ පුහුණුකරු ටොම් මූඩි අපිට ලොකු පාඩමක් කියල දුන්න. ඊට පස්සේ අපි ඒකත් හිතට අරගෙන දෙවැනි ඉනිමේදී දවස් දෙකක් විතර පන්දුවට පහර දුන්න. මම පන්දුවට පහර දෙන්න ගියේ දිවා ආහාරයට පැය බාගයකට කලින්. එතකොට අනිත් පැත්තේ හිටියේ වාස් අය්යා. එතන ඉඳන් දවස ඉවර වෙන්න පැය බාගයක් එනකම් බැට් කරලා ලකුණු 64ක් ගත්තා. ඒ අවස්ථාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ටෙස්ට් තරගයක් පරාජයෙන් බේර ගන්න හම්බ වුනා කියන්නේ තරඟය දිනුව වගේ තමයි.

Nuwan Kulasekara with Azzam Ameen
'ඇත්තටම මම ගොඩක් එන්ජෝයි කරනවා මගේ ක්‍රිකට්. මම ක්‍රීඩා කරද්දී පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්නවා'

ප්‍රශ්නය: 2008/09 කාලපරිච්ඡේදය ඔබේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවදිය කිව්වොත් නිවැරදියි. ඒ වසරේ ඔබ ලෝක එක්දින ශ්‍රේණි ගත කිරීමේ අංක එකට පැමිණෙනවා?

නුවන්: මම හිතුවේ නැහැ මට ලෝකේ අංක එකේ පන්දු යවන්නා වෙන්න පුළුවන් වේවි කියල. 2008 බටහිර ඉන්දීය සංචාරයෙන් පස්සේ මම දිගටම ක්‍රීඩා කරන්න ගත්ත. ඒ එක් දින තරඟාවලියේ තරඟ තුනකින් කඩුලු හයක් ගත්ත. එතැන් පටන් හැම තරඟයකම මම කඩුලු ගත්ත සාමාන්‍යයෙන්. විකට් 47 අරගෙන ශ්‍රේණිගත කිරීම්වල පළවෙනිය වුනා. ඒක මගේ ක්‍රිකට් ජිවිතයේ අමතක වෙන්නේ නැහැ කවදාවත්.

ප්‍රශ්නය: මේ වසර ගැන කතා කළොත් වසර ආරම්භයේදීම ඔබ ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියාවේදි වේග පන්දුවෙන් දන ගස්වනවා. ඒ තරඟය ගැන මතක් කළොත්?

නුවන්: මම විතරක් නෙවෙයි, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පවා හිතන්නේ නැතුව ඇති ඒගොල්ලන්ට එහෙම දෙයක් වේවි කියල. මොකද 74 කට වගේ අඩු ලකුණු ගානකට ඒගොල්ලෝ දැවී ගියා. මම හිතුවේ නැහැ එදා ක්‍රීඩා පිටියේ තිබුණු තත්වයත් එක්ක කඩුලු පහක් ගන්න පුළුවන් වේවි කියල. මොකද එදා හොඳ රස්නේ දවසක් කඩුල්ලත් හොඳට වේලිලා තිබුනේ. මම හිතන්නේ එදා තිබුණු ආර්ද්‍රතාවය නිසා පන්දුව හොඳට දෝලනය වුනා.

දක්ෂ පිතිකරුවන්

ප්‍රශ්නය: මේ වසරේ තවත් අමතක නොවන තරගයක් තමයි චැම්පියන්ස් කුසලානයේ එංගලන්තයට එරෙහිව පැවති තරඟය. තීරණාත්මක අවස්ථාවක ඔබව වේගයෙන් ලකුණු රැස් කර ගන්න කියල පිටියට යවනවා. ඇත්තටම මොකක්ද පුහුණුකරු කිව්වේ ඔබ යවන්න කලින්?

නුවන්: මම යනකොට ලකුණු සහ පන්දු පරතරය සමානව වගේ තිබ්බේ. විකට් දෙකක් වගේ තියෙද්දී මම ගියේ. පුහුණුකරු කිව්වේ මුලින්ම ගිහිල්ල තත්වේ බලන්න බලල ඔයාගෙන් වෙන්න ඕනේ 'පවර් ප්ලේ' එකේ ලකුණු ගහන්ඩ කියල කිව්වා. මම යද්දී කුමාර් සංගක්කාර හිටියේ එහා පැත්තේ එයා කිව්වා පොඩ්ඩක් ඕවරයක් විතර බලල ස්ථාවර වෙන්න කියල ඊට පස්සේ ගහන්න කිව්වා. ඇත්තටම 'පවර් ප්ලේ' එකේ හිතපු විදිහට මට ගහන්න බැරි උනා. එංගලන්ත කණ්ඩායම හොඳට බෝල් කළා. පවර් ප්ලේ එකෙන් පස්සේ බෝලෙ මගේ එරියාවලට ආව. ඊට පස්සේ මට ගහන්න පුළුවන් පාරවල් හිතාගෙන, මට ගහන්න පුළුවන් පන්දු යවන්නා ඉලක්ක කරලා හොදින් බැට් කරලා අපිට තරඟය දිනන්න පුළුවන් වුනා.

'ෂෙවාග්, ගිල්ක්‍රිස්ට්, ක්‍රිස් ගේල් වගේ අයට අපි කරන්න ඕනේ වැරැද්ද ඉතාමත් පොඩියි'

ප්‍රශ්නය: නුවන් ඔබ, එක් දින හා T20 තරඟවල ශ්‍රී ලංකා පිලේ නිත්‍ය සාමාජිකයෙක් වුනාට ටෙස්ට් කණ්ඩායමේ එම අවස්ථාව හිමි වෙලා නැහැ?

නුවන්: ඇත්තටම ඒක තේරීම් කමිටුව අතේ තියෙන්නේ. මම ටෙස්ට් ක්‍රීඩා කරන්න කැමතියි. මට ඕනේ ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස මේ හැම තරඟයක්ම ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවට ජය ලබා දෙන්න.

ප්‍රශ්නය: නුවන් දැන් ඔබ තුන් ඉරියවුවේ ක්‍රීඩකයෙක් කියල හඳුන්වන කාලය ඇවිල්ලද?

නුවන්: මට ඕනේ බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් වෙන්න. මේ දවස්වල බැටින්වලට හුඟක් පුහුණු වෙනවා. පසු පෙලෙන් ලකුණු ලැබෙනවා කියන්නේ කණ්ඩායමට හොඳ බෝනස් එකක්.

ප්‍රශ්නය: ඔබ දැන් ලෝකෙ සෑම කණ්ඩායමක් සමඟම වගේ ක්‍රීඩා කරලා තියෙනව, හැම පන්දු යවන්නෙකුටම ඉන්නව පන්දු යවන්න අමාරු ක්‍රීඩකයන්?

නුවන්: ජාත්‍යන්තර ක්‍රීඩා කරනවා කියන්නේ ඔක්කොම හොඳ ක්‍රීඩකයෝ. ඒ අතරින් ප්‍රවේගකාරී පිතිකරුවෝ ගත්තොත් ෂෙවාග්, ගිල්ක්‍රිස්ට්, ක්‍රිස් ගේල් වගේ අයට අපි කරන්න ඕනේ වැරැද්ද ඉතාමත් පොඩියි. ඒගොල්ලන්ට සාමාන්‍ය අයට වඩා විශේෂයක් කරන්න ඕනේ.

ප්‍රශ්නය: අපිට දැන් ඉන්නේ තරුණ කණ්ඩායමක්. සංග, මහේල වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔවුන්ගේ අවසාන අවුරදු කිහිපය ක්‍රීඩා කරන්නේ. තරුණ ක්‍රීඩකයන් තමන්ගේ ස්ථානය තහවුරු කරන්න උත්සාහ කරනව. මොකද්ද වර්තමාන කණ්ඩායම ගැන ඔබේ තක්සේරුව?

නුවන්: හොඳ තරුණ ක්‍රීඩකයන් ඉන්නව. ඒගොල්ලන්ට අත්දැකීම් ඕනේ. ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවෝ දෙන්නෙක් වන සංහකකර හා මහේල යටතේ ක්‍රීඩා කරන්න ලැබීම ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක්. හොඳ පන්දු යැවීමේ බල ඇණියක් තියෙනවා. ඉතින් මම හිතන්නේ එන තරුණ ක්‍රීඩකයන්ට හොඳට ඉගෙන ගෙන ඉස්සරහට යන්න හොඳ අවස්ථාවක් තියෙනව.

ප්‍රශ්නය: මේක අහන කොටත් හිනාවෙලා ඉන්නේ. නුවන් කුලසේකරව කෙනෙකුට මතක් වෙන්නේ හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න පුද්ගලයෙක් විදිහට. මොකක්ද මේ හිනාවෙ රහස?

නුවන්: ඇත්තටම මම ගොඩක් එන්ජෝයි කරනවා මගේ ක්‍රිකට්. මම ක්‍රීඩා කරද්දී පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්නවා. මට හයක් ගැහුවත්, හතරක් ගැහුවත්, මම කඩුල්ලක් ගත්තත් මම හිනාවෙනවා. ඒක තමය මගේ ස්ටයිල් එක.