ඩොලර් ලක්ෂ තිහේ ක්‍රිකට් පාඩුවට ‘දඬුවම් කරන්න’

  • 19 දෙසැම්බර් 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ ඩොලර් තිස් ලක්ෂයක පාඩුවට වගකිව යුත්තන්ට වහා දඩුවම් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

2010 වසරේ දී ක්‍රිකට් තරග විකාශනයේ සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් පාඩු වූ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බදාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබුණි.

පාඩුව 'මීට වැඩියි'

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය සිරිකොත දී මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක බ්‍රහස්පතින්දා පැවසුවේ පාඩුව ඊට වැඩි බවයි.

"අපි කියනවා මේ පාඩුව අඩුම ගානේ මිලියන නවයක් හෝ දහයක් කියලා," යි මන්ත්‍රී වරයා පැවසීය.

බදාදා පාර්ලිමේන්තුවේ දී කරුණානායක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අලුත්ගමගේ අමාත්‍යවරයා ඩොලර් තිස් ලක්ෂයක පාඩුවක් සිදුවූ බව පිළිගත්තේ.

තරග විකාශන අයිතිය

2010 දී ශ්‍රී ලංකා රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කැරුණු ක්‍රිකට් තරගාවලියක් තමිල්නාඩුවට ද විකාශය වීමට එරෙහිව විකාශන අයිතිය හිමි ‘නිම්බුස්’ ඉන්දීය සමාගම පැවරූ නඩුවක් සමථයකට පත් කර ගැනීමේ දී එම පාඩුව විඳින්නට සිදුවූ බවයි ක්‍රීඩා අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ.

මෙහිදී රවී කරුණානායක මන්ත්‍රීවරයා චෝදනා කළේ අනිකුත් නාලිකාවලට ක්‍රිකට් විකාශන අයිතිය ලබා නො දී CSN නාලිකාවට ශ්‍රී ලංකාවේ තරග විකාශන අයිතිය ලබා දීම පාඩුවට හේතුව බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන ලද බවයි.

උපරිම ලංසුව ලැබුනේ CSN නාලිකාවෙනැ’යි කී අමාත්‍යවරයා , ‘පසුගිය කාලේ රුපවාහිනිය කරපු ගෙවීම් එක්ක බලද්දී අපිට කිසිම මුල්‍යමය පාඩුවක් වෙලා නැති,’ බව ද ප්‍රකාශ කළේය.