තේරීම් කමිටුව සහ මන්ත්‍රීකම අතර 'ගැටුමක් නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 29 අඟහරුවාදා - 12:55 GMT
Sanath Jayasuriya (file photo)

"මට දැන් ක්‍රිකට් කමෙන්ට්‍රි දෙන්න බෑ. ඒක කොමන් සෙන්ස්"

නව පදවිය සහ මන්ත්‍රී පදවිය දැරීමේදී කිසිදු බැඳියාවන් අතර ගැටුමක් මතු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය අවධාරණය කරයි.

තේරීම් කමිටු සභාපති පදවියට පත්වීම් ලැබීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ.

කෙසේ නමුත්, පූර්ණ කාලීන රැකියාවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය දරමින්ම තේරීම් කමිටු සභාපති පදවිය ද දැරීම මඟින් පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් මතු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සංදේශය ට පැවසීය.

"ක්‍රිකට් එකයි, දේශපාලනයයි ගැටීමක් නෑනේ. මම ක්‍රිකට්වල දන්නා දේ දේශපාලනයට වැඩිය දන්නවා ක්‍රිකට්වල. දේශපාලනය කරන්නේ මාතර ඉන්න ජනතාවට. ඉතින් මම ඒ දේ ඒ මාතර ජනතාවට වෙනම කරනවා," බව යි, එම චෝදනාවට ජයසූරිය මන්ත්‍රීවරයා ගේ ප්‍රතිචාරය වූයේ.

තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයන්, ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට තමාගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බව ද සනත් ජයසූරිය කියා සිටියේය.

'විස්තර විචාර කරන්න බෑ'

"ක්‍රිකට් එකයි, දේශපාලනයයි ගැටීමක් නෑනේ. මම ක්‍රිකට්වල දන්නා දේ දේශපාලනයට වැඩිය දන්නවා ක්‍රිකට්වල. දේශපාලනය කරන්නේ මාතර ඉන්න ජනතාවට"

සනත් ජයසූරිය, ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක් නායකයෙකුත්, එක් දින සහ විස්සයි විස්ස කණ්ඩායම සඳහා වෙනත් නායකයෙකුත් වශයෙන් මින් ඉදිරියට නායකයන් දෙදෙනකු පත් කළ යුතු බව ට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරන යෝජනාව පිළිබඳව ද සියලු දෙනා සමඟ සාකච්ඡා කොට තීරණය කරන බවයි, ඔහු පවසන්නේ.

"අපි ලංකාවේ ක්‍රිකට්වලට හොඳ තීන්දුවක් ගන්නවා," ඔහු පැවසීය.

එමෙන්ම නව තනතුර භාර ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රීඩා විස්තර විචාරවලින් අනිවාර්යයෙන්ම තමනට සමු ගැනීමට සිදුවන බව ද සනත් ජයසූරිය කියා සිටියේය.

"මට දැන් ක්‍රිකට් කමෙන්ට්‍රි දෙන්න බෑ. ඒක කොමන් සෙන්ස්," යනුවෙන් ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සනත් ජයසූරිය ගේ ක්‍රිකට් දක්ෂතා පිළිබඳව කිසිදු ගැටලුවක් නැතත්, ඔහු තවමත් නිල වශයෙන් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙන්නේ ද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මාධ්‍යවලට පවසා තිබුණි.

ඒ පිළිබඳව ප්‍රතිචාරය දැක්වීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවයි, නව තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.